Wednesday, December 12, 2012

ඇති දෙයක් නෑ වගේ පෙනෙයි. ඒත් ඒ මගේ හිත



















හිස බිමට නමාගෙන
සංසාර කන්ද නැගෙන
හැමදාම හවසට
ආවාම ගුහාවට
හඳ වුනත් ඉන්නේ ඔරෝගෙන


ගෙවීයන හැම නිමේෂය
කන් අගුළු වට්ටන තරම්
තරම් නිහඩය
ගලපන අකුරු වුනත් කවියට
කථාවක් නැතිවටම
එක පෙළට ළගින් හිටගෙන


මහ විසල් කොන්ක්‍රීට් වෘක්ෂයන් අතර
සෙවනැලි අහිමි වූ මිනිසුන්ය
අතරමග හැමතැනදි හමුවන
මොහොතක් උස්සා හිස
මං වාගෙම යළිත් බිමටම නවාගෙන
හාහූවක් නැතිව යන එන

මතක සැමරුම්
ටිකෙන් ටික අලුපාට වන
ඔබත් එකක් ගතකල
අවසන්  සන්ධ්‍යාව
පමණි තවමත්
පාට තැවරුණු එකම මතකය

Thursday, October 4, 2012

පැරණි ​පෙම් හසුනක් සමග තනිවීම හෙවත් සුසානයේ සන්ධ්‍යාවක්












මේ තරම් දිගු සැදෑවක්
අපට හමු වී
නැති බව
සත්තයි

අකාලික ප්‍රේමයට
කාලයකට පෙර දැමූ
පිච්ච මල් සුවද පුයරේ
සුවද හැර ගිහින් තිබුණා

වස්සානයේ සිහින
වැළලී ගිය තැන්වල
සොහොන් කොත්
අකුරු අතරින්
උස්ව පෙනුනා

ඔබ ආසම කරන
ගාර්ඩනියා මලක
වියලී අවපැහැව  ගිය
 පෙත්තක්
ඒ අසල රැඳී තිබුණා

, ආදරය
මේ වගේ
මෙන්න මේ
හැන්දෑව වගේ...
කොමාවක් අසල
තිත් පේළියක් දමා
ඔබ ලියා තිබුණා

ඒත්
මේ තරම්
දිග නොවූ
ඒ සන්ධ්‍යාව

ප.ලි

 ඔබ මෙසේ ලියා තිබුණා
 "හැමදාම ආදරෙයි "

සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගුද ?

Saturday, September 22, 2012

සඟයිනි, ඔබට ඇසේ ද ?













උතුරේ ද
දකුණේද තලා
දමන විට
අපේ පන්තියේ පිපිමල්

නටුවටවත් නොනියා
අකාලිකව සමුගත්ත
ඒ සුවහසක් මල්වලට
එල්ලකරන විට
මල්ටිබරල්
ආටි උණ්ඩ
කවියනි ඔබ කොහිද
ඔබේ අවි කොහිද?

අදුරු යුගයේ
කළු කුහරයේ
සැඟව යන විට
චන්දරේ
මරණයේ සහතිකය
උපන් භූමියෙන් ලියාන
භාෂණ
උදය
වෙඩ්ඩා
අජිත් සී ඇතුළු
තවත් අපේ පන්තියේ
බෙහෝ උන්ට උන්ට
පිටුවහල් වන්න වූ විට
ඔබේ අවි
කොස් කොටන්නද?

මුල්ලි​​​වෛයිකාල් රතු වැලි පොළව අතරේ
මස් අස්සේ මස් ලෙස සැගවු
අපේ පන්තියේ උන්
ඇන්ට​නිද
රොෂේන්ද
නිමලරුබන්ද
ඩෙල්රුක්ෂාන්ද
තවත් දස දහස් ගණනක
අපේ සටන් සගයින්ද
කීතු කීතු කරන විට
කවියන ඔබ කොහිද?
පන්තියේ උන් වෙනුවෙන් නැති
අවි කුමට ?

ඉතිරිවුනු අපේ උන්ට
ගොම ද
කළු තෙල් ද ගසන විට
තවත් උන්ට
බැටන්
විලංගු
කඳුළු උණ්ඩ ද
එවනවිට
තවත් කවි කුමට
වෙව්ලන අත්වලට
පෑනටත් වඩා බර අවියක් අවැසි විටෙක

කවියනි ඔබ කොහෙද
ඔබේ අවි කොහෙදෙ?

අවියත් අරගෙන වමතට
වම් අතට
එන්න කාලය එළඹ ඇත වීදියට

Friday, August 31, 2012

හදවතට හැකිය පුපුරන්න















අහසට හැකිය ගුගුරන්න
සයුරට හැකිය වැලපෙන්න
හදකට හැකි ද පුපුරන්න
ඔව්
හදකට හැකිය පුපුරන්න

දරු පෙමක් අභියසක
සඳ වුනත් පොඩි තිතක්මය
තාත්තෙක් අභියසක
පුතෙක් හරි විශාලය

තාත්තෙක් වීම
පළමු උණුසුම් හැඟුම
මුල්ම පය තැබුම
ලොවම ජයගත් මොහොත

පැතුම් පොදි බොහොම
පැයට හැතැක්ම වේගයෙන් වැදින
නිසොල්මන් වූ සිහින
සේලයින් බිදුවටම එක්වුන

විශ්වයම එකමිටට
අල්ලා දිය හැකිය පුතුට
තාත්තෙක්ගේ හදකට හැකිය
පුතෙක් වෙනුවෙන් පුපුරන්න
ඒත්
තාත්තෙක්ට බැරිය
පුතුගේ දෙන ඔසවන්න

පැය දෙකක පමාවකි
පුතු ගිය ලොවට යන්න
හදවත පලාගිමි
පුතු සමඟ අවසන් ගමන් යන්න

Friday, August 24, 2012

රතු කොඩි සහ කහ සිවුරු

අපේ උන්ම දහසක් දෙනා
මහමඟ ටයර් උදුරේ පිළිස්සූ
දවා අළු කළ
කාකි කැමාවට
නිල් මානෙල් පැලැන්දූ
රතු කොඩි
සහෝදරවරු

පිරිත් පැන් ඉස
ගමින් ගම පිරිත් නූලෙන්
T-56 ය කොකාට ඇමිණූ
කහ සිවුරු
බුදුවරු


Sunday, July 22, 2012

ඔව් රත්නේ, හොඳම දේ දරුවන්ට

 













(රත්න ශ්‍රී විජේසිංහ කවියක් ලියා ඇත ජනරළට පුවත්පතට 'හොඳම දේ දරුවන්ට' )

හොඳම දේ දරුවන්ටමයි රත්නේ
ඒ ගැන කිසි පහරක් නැත්​තේ
කැකුළු මල් කළු බඹරු තළන අරුමේ
මේ දැන්දෝ දුටුවේ ගාලු කොටුවේ රත්නේ

ශිව ලිංගමද තවම හීනෙන් පෙන්නේ
සෙවල පෙරනා කෙසර ලිංඟ නැතිවද දකින්නේ
කොනේෂ්වරීගේ හඩ කවදද රත්නෙට ඇසෙන්නේ
ඒහෙව් ර​ටක කොහොමද රත්නේ
හොඳම දේ දරුවනට දෙන්නේ

පිරිත් පැන් වඩන විට සඟුන්
රත්නේ ලිව්වා මතකද
ආයුරඛ්කන්ත ආවඩන්
ඒ මහා පිරිත් පැන් බලෙන්
රත්නෙගේ ආයුෂත් අරන්
රණවිරු පෑ බලෙන්
උතුරේ මල් මිලිනවුනිද මොන තරම්

උතුරේ රැඟු බඹරු දැන්
දකුණේ රත්නේ
දකුණේ මල් තලන විට
ඇහැරෙයි රත්නෙගේ කවි වරුණේ

කල්වාරියේ කන්ඳ මුදුනටම එන්න රත්නේ හැකිනං
යෝබ බල පැතූ මහා රණවිරු සෙනගත් අරං
වෙඩ්ඩා තැනූ ලිඟු මාලය අතදරං
පළදන්න මම ඉන්නවා කන්ඳ මුදුනේ මඟ බලං

Saturday, July 7, 2012

කාලය කෙතරම් සොඳුරුද..මිහිරියේ














අපි ආයේ මේ පාරේ
හමුවන්නේ කොහොමද
අපි අපිට ගසාගත්
වචන ගල්
පය පැටලිලා
ඇද වැටෙයි අපිම
දෙනෝදාහක් මැද

ආදරය ඉරාගෙන ටක්කෙටම දෙකට
බෙදාගෙන යමු දෙපසට
හදාගත් හීන
බෙදාගෙන වෙන වෙනම
ඉරාගමු හරි මැදින්
පොටෝ එක
ගොල්පෙස් පිට්ටනියේ මැද
කිටිකිටියේ බදාගෙන උන්න

තර්ක විතර්ක කලු ​කෝටයට
දෙන්න ඔබේ සුරත
උදුරා දමන්න
ඔය මංගල මුදුව

හදාගත් හීනය
බෙදාගෙන
බදාගෙන උන්නු
කාලයක නිමාවිය
හදවතේ හීල්ලුම් දාරගෙන
තන තනිම 
යමු දෙමග
අතීතයේ නටඹුන් බලාගෙන






Thursday, July 5, 2012

කවියක් නොවේ බං මේ











බැටන් පහර එක පිට එක වැද
ඇසල සඳ මොර දෙයි
ලේ පැල්ලම් විසිරි ඇත
ඒ විසල් අහස මත
ලේ පිළී ඟඳ පමණි
හමන්නේ දසත

ගව්ගනන් දුරවුනත් සඳට
පෙම් කවි ලියන්නෙත් ඒසඳට
සඳකට විරිතට අකුරු ගලපන උන්ට
දෙමළනම් සඳ වුනත් දුර වැඩී ඒ  මිනිසුන්ට

කවියක් නොවේ බං මේ
හූල්ලන  ඉකියක්ය සිරවුණ
කවිකම වුනත් මොකට
අකුරුවලිනුත් ලේ ගලන කලෙක

හිස්ම හිස්
සුදු කඩදාසි මත
වැතිර සිටින
හිස්ම හිස්
හැගීමකි

ඉකිගසන
ලේ ගලන
අවසන් සුසුම යදින අදින

කවියක් නොවේ බං මේ
හූල්ලන ඉකියක්ය  සිරවුණ


Photo Credit - JDS 

Tuesday, June 26, 2012

'නිදහස' මොන බිජ්ජක්ද ඕක













ඔබලාට කිව යුතු වන්නේ “ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“ යන්නය 
උදය ආර්. තෙන්නකෝන්

සම්මා සම්බුදු මහතුනි
සියලු දෑ සිදුව ඇත
වෙනස් කළ නොහැකි ලෙස
ඔබ සහ අපි යැයි

ඉද්ද ගැසූ ඉරකින් වෙන්කොට
ඉතිහාසය පුරාවට

යලි නොවෙනස් ලෙස

අච්චු තැබූ දා සිට
අම්මගේ පදයෙන් වැඩ අල්ලා
පරයා
ජඩයා
වේසිගේ බල්ලා
දේශද්‍රෝහියා
තවම අවසන් නොමත
නොනැවත් ගලන
නෙක නෙක 
ඔබ පිනවන වදන්

සම්මා සම්බුදු මහතුනේ
නුඹලා ශ්‍රද්ධවන්තයෝම
වන්නාහ

අල්තාරයේ
කුරුසියේවත් ගසන්නට
අප කවුද?

ද්‍රෝහීන්ය...

දමා ගසන්න ඒ සියලු ගල්
පව්කාර සිරුරු
කීතූ කීතු වී යන තුරුම
ඔබලාගේ ශ්‍රද්ධ වූ හදවත්
සුවෙන් සැනහෙන තුරුම

සම්මා සම්බුදු මහතුනේ
එපා ඔබේ ශ්‍රද්ධ වූ
උගුරු දඬු
ලේ රහ කර ගන්න
"දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස"

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

“ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

දැන් ඔබ යළිත් දමාගසන්න
ශ්‍රද්ධ වූ මහතුනේ 

සනසා සතපා ගන්න
ඔබේ ශ්‍රද්ධ වූ සිත

එළියට  පැමිණි  දා සිට
අම්මගේ පදයෙන් වැඩ අල්ලා
පරයා
ජඩයා
වේසිගේ බල්ලා
දේශද්‍රෝහියා
තවම අවසන් නොමත
නොනැවත් ගලන
නෙක නෙක 
ඔබ පිනවන වදන්

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

Tuesday, June 5, 2012

අවසන් දි ඇය නික්ම ගියා ය.




















සංසාරේ පුරුද්දට
වස්සානේ ඇවිද්දුව
හන්තානේ පාමුලදි
ඇසට ඇස ඇමිණුව

අවසන් ඉඟිය ඇස් මතින් දී
අවසන් කවියක පදපේලී අතර සැගවී
අවසන් සුසුම ළයට පොදි  බැඳ දී
අවසන දී ඈ ගියා ය...

මන්දාරම් අහස් කුස අසල
නින්නාද දෙන විහඟුන් පවා ගල්ව
එකම එක් ඇසිල්ලක් නොසෙල්වී උන්හ
ගලහ පරෙන් ඇය බොදව යන තුරුම

මැයි මාසයේ මුලදි ගැබ්බරව
මල් වැසි වලින් දෝවනව
මැයි මාසේ අගදි බිමහෙලුව
කහපාට මල්වැස්ම මත
සලකුණුව තිබුණි
ඇය නික්ම ගිය වග

සිහිල් සුළගක් පැමිණ
මල් පාවඩය රැගෙන
ගියේ යන්නටම
ඇගේ අවසන් සළකුණුද රැගෙන

රිදුමක සළකුණුය හදවතේ
ඉකියක් සිරව ඇත ළය මතේ
කඳුළක් පුපුරවා ඇස් කොනේ
අවසන දි ඇය නික්ම ගියා ය

Wednesday, May 2, 2012

චාපා...මම සැටිය උඩ... හිනා බං මට... දුකට






















නාලිකාව - දෙරණ
වේදිකාව - රියලිට වේදිකාවකි
ගායකයා - චාපා (ඉන්ද‍්‍රචාපා ලියනගේ) ඇතුළු පිරිස
විනිසුරු මඩුල්ල - චාමික සිරිමාන්න, රජීව් සෙබෙස්තියන්, රාජු බණ්ඩාර, අතුල අධිකාරි
නිවේදක - සාරංග

චාපා
උඹ කිව්වා
ක්ලැරන්ස්ව ටිකක් වැඩියෙන් පොප් කරලා
ටියුන් එක වෙනස් කරලා
කට්ටිය කර උඩ නටනවා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

සාරංග ඇහුවා
චාමිකගෙන්
චාපා මොකද්ද කලේ කියලා
කට්ටිය කර ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

චාමික කිව්වා
අපි
චාපගෙන්ම අහමු කියලා
මොකද්ද කලේ කියලා
කට්ටිය තවම කර ඇරගෙන
මම සැටිය උඩ හිනා බං මට... දුකට

චාපා
උඹ විස්තර කලා
අරුන් කට ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාමික කිව්වා
අපි ඒක දැනගෙනයි
චාපගෙන් අහගත්තේ කියලා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාපා
උඹ සිල් අරං වගේ
ෂෝක් පෙනුම උඹේ දැන් ටීවි එකට
අපේ අම්මා දක්කනම් දැං කියයි
අර බලපං අර ළමයගේ හැටියි
උඹේ හැටියි

දැං උඹ මගෙන් අහයි
හරි උඹ මට කන්න දෙනවද කියලා
මම මොන මගුලක් හරි කරලා
සල්ලි හෙයන්න ඕනේ කියලා
හඳයත් වතාවක් ඕක කිව්වා
මගේ නිශ්පාදකයො ලොස්ට් කරන්න බෑ කියලා

මේ උත්තරය උඹට මගෙන්
අවධාරණය මගෙන්

අපරාදේ බං චාපා
ගහන්න තිබුණේ උඹට
අජිත් මුතුකුමාරණ වගේ
සීඞී එකපිට එක
සල්ලි බං සල්ලි
පිස්සු හැදෙනවා

මම සැටිය උඩ... හිනා බං මට... දුකට

මම දකිනවා උඹව දැං

රියල් ෂෝ එක ඇතුළේ
මම රියල් චාපව දකිනවා දැං
මම සැටිය උඩ... හිනා බං මට...

පරණ පෙම්වතී ලියමනක් එවා ඇත අද























ඔබ හොදින්ද
තවමත් බීර බෝතලේ ආදරය අමෘතද
තවමත් ජීවිතය නිශාචරද
දැන්වත් කීයක් හෝ ඉතිරි කරළද

ඇය ලියා ඇත අග මෙලෙස

ඔබ ලියන කවි කියවා
මා ප්‍රිය සැමියා
කෝප වී දොස් තියනවා
ඔබ තවම ආදරය කරනවාලු මට
අනේ හැකිනම් නවත්තන්න
කට ගෙන්නක් බීගෙන ඔය ලියන ලියවිල්ල

පිළිතුර අද තැපැල් කළා මම

සුදු කොලයක් දමා
ලියුම් කවරයක
එදා වාගෙම අදත්
පිළිතුර ඇයට කැමති ලෙස
ලියා ගැනුමට

Monday, April 30, 2012

"තාරකී "

 

තාරුකා තවත් නෑ 
පෙරඹරට තාරකී
ගී කියන මාලුවොත් 

ගොලු වෙලා තාරකී
මහා හඳකින් පැන් තුඩගින් 

මිනිස්කම සෙව් තාරකී
ගිගුම්දෙනු ඇත මහා හිස්කම 

තවත් බොහෝ කල්  තාරකී

උතුරු සළුවම ලෙයින් පෙගුනා
පළමු සිල්පද කඩා දැමුවා
කෙසර නිරුවත සැමට පෙන්වා
කෙසර සලකුණු අවට තිබුණා

එදා ඒ අඳුරු මූසල රැය තවම අඳුරු
නිහඩ කෙරුවට නුඹේ කටහඩ සොඳුරු
සබඳ සකිසඳ නුඹේ සටන් කරනා අකුරු
අදත් අවැසිය සවිය ගෙනෙනට මිතුරු


ධර්මරත්නම් සිවරාම් හෙවත් "තාරකී" 2005 වර්ෂයේ අප්‍රේල 28 වැනි දින බම්බලපිටිය පොලීසිය ඉදිරිපිටදී සුදු වෑන් කල්ලියක් විසින් පැහැර ගන්නා අතර 29 වැනිදා තාරකීගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් හමුවිය. ජනමාධ්‍යවේදියෙකු වූ තාරකී දමිළ සමාජයේ නූතන චින්තකයෙක් වන අතර අතිදක්ෂ යුධ විෂ්ලේෂකයෙක් විය.

Monday, April 23, 2012

හුදකලා මිනිසෙක්
















ඔච්චම් කරන
නිකිණි සඳට හුඟක්
පහළින්
හුදකලා වීදියක බර
නිරුවත් දෙපයින්
බර අඩි තබා
ඇවිද යන මිනිසෙක්

තියන ඇඩියෙන් අඩියට
පහත් වුනු හිස
මදින් මද සෙළවෙන
මොනවදෝ මුමුණන
බිමටම බර වූ
හිස් බැල්මෙන් සරන
හුදකලා මිනිසෙන්

වරක් වත් ආ මග හැරී නොබලන
යන මග දෙස නොබලන
අඩිය මත නෙත තබා ඇවිදින
හුදකලා මිනිසෙක්

මලානික විදුළි පහන කණු
එකින් එක පසුකර
අවසන් සැතපුම් කණුව ළඟ
නෙත් අයා බලා සිටන
හුදකලා මිනිසෙක්

නිරුවත් පොළව සිඹ
එයටම දී සියොළගම බර
දෑස් තද කොට පියාගත්
හුදකලා මිනිසෙක්

බර්ලින් සඳ















රෑය තිස්සේ සීතලෙන් ගල් ගැසී
මොරදෙන බර්ලින් සද
පැනපන් අහසට හනිකට
පෑනක් කොළයක් අරගෙන

තනිකමින් සුසුම්ලන
කොළඹ අහසට
ලිපියක් ලියපන් හනිකට

චණ්ඩු වූ රළ















නිමිත්ත -  සුනාමියෙන් පසු සැමියෙන් තම බිරිද පයපැළදි මුදුවෙන් හඳුනාගනී

පළමු දින
ආදාරේ උණුසුම්ම හාද්ද
තැබූ කොපුළ
කථා කරන දෑස් අග
බරව වෑස්සේන
උණු ලුණු කඳුලු
නොහදුනන්න ඇති
ඒ චණ්ඩ මහ රළ

ලුණු දියේ ගිලෙන විට ජීවිතය
අවසන් තත්ත්පරේ අසල
පොරබදන්න ඇති
මතකය දිව යන්න ඇති
අප ආ ගිය මං මාවත් දිග
මේ මහ සමුදුර අසලම
අප හෙළු සුසුම් වැල් සිනා වැල් පසුකර

ඔබ සොයන්නැති
සතර අත සොයන්නැති
ජීවිතය බෙදාගන්න
සපත කළ මගේ දෑත

කිසිවක් නොකී සත්සමදුර
ආපසු ගොස්ය කප්පරක් සිහින
අදුර පත්ලට රැගෙන

සොයා ආ විට
හාදු දුන් මුහුණු
සත් සියක් සිහින අත්හල මිනිසුන් අතර
හඳුනාගති ඔබ මම
පයපැළදි සිහින් මුදුවෙන්

අවසන
චණ්ඩ රළ රැගෙන ගොස් ඇත
මගේ සිහින මුහුණත

නොවැම්බරය පැමිණ ඇත... ඔහු පමණක් නොමැතිව















අවුරුද්දක අවසන
හෝරා ගණනින් මැනිය හැක
පැමිණ ඇත
තවත් එක් නොවැම්බරයක්

දුරුත්තේ උඩගුවන සීතලට
තුරුළු වන උණුහුම
පණමෙන් සුරැුකි රතු කොඩියෙන්ම
හිස කඳින් වෙන්කළ නොවැම්බරයක්

සප්ත සයුර හිස් කල
හිස් අවකාශය තරම් හිස්කමක්
ජීවිතයට දෑවැදි දුන්
මරණීය නොවැම්බරයක්

පීතෘ ප‍්‍රාණය රැුගෙන ගිය ඒ නොවැම්බරයම
විසිතුන් වසරක් පැමිණ ලෙසම
තවත් උපන් දිනක් රැගෙන පැමිණ ඇත
මේ නොවැම්බරයෙත්

ඔහු පමණක් නොමැතිව

තාත්තේ...
ඔබට සුබ රාත‍්‍රියක්
ඒත්...
සුබ පතන්නේ කෙලෙස
ඇගේ උපන් දිනයට
මේ නොවැම්බරයෙත්

නොරිකෝ















වංකගිරියේ පළමු පඩිය
අසලට වී තවම
දෑස් අනන්තයේ කෙරවල තබාන
මම මඟ බලා හිදිනවා
නොරිකෝ

එකම එක පඩියක් හෝ
ඔබත් සමඟ
අතිනත අල්ලා නගින්නට

ඔව්,

එකම එක පඩියක්
ඔබත් එක්ක
දෑත් පටලා
එකට නගින්නට
නොරිකෝ

ආදරය ද විප්ලවයකි - විප්ල්‍වය ද ආදරයකි















CHE ,
නුඹේ ආදරේ තරමටම
පෙමකල හැකිය මට ඇයට
ඔච්චම් කළද
සුරුට්ටුවේ තරම් බරනොව
සිගරැට්ටුවක දුම් රෑළි
මමත් සොයනවා අලුත් ජීවිතයක්
දූර ඇත ආදරයක් සමග
ලේ පිළීගඳ බිමක් මත

නිමක් නොවන මහා ප්‍රේම සන්තානයක
හදවතේ ගැඹුරුම තැනක
සැරිසරයි ඇය
විටෙක් මමත් නොසිතු විටෙක
CHE

ආදරය මහා වන තරමටම
මිනිසුන් කුඩාවන වගද
හදවත් විශාලවන වගද
මම නුඹෙන් කියෙව්වා
CHE

නිමක් නැති පෙමක් ළග
නිමක් නැති දුරක් වෙද
සිතක් පැතු සිහින මැද
මියෙන්නට වුනත් සැප

නුඹද ඇයද
එකම තැන
ඇත
CHE
ආදරය ද විප්ලවයකි
විප්ලවය ද ආදරයකි

නිදහස සහ චතුරශ්‍රය



 
















නිදහස් යැයි නම් කොට ඇති
චතුරශ්‍රයට වදිම
අවට සැම තැන සරන කාකි කලිසම් දුටිමි
නිදහස කොතැනදැයි සොයමි
ගල් ගැසුනු සියල්ලෝ දුටිමි

ගල් කණු අසලට යමි
උන්වත් දනීදැයි අසමි
කණුවක් ඇසක් ඉඟිකර පෙන්වීම
දෙදෙනක් බියව දුවනවා දුටිම

රේඛා තබා ඇත තණපිටි වල තිතට
මුද්‍රා තබා ඇත අවසර නැති බවට
නිදහස් යැයි නම් කෙළ කොටුකළ පෙදෙස
නිදහස නිදහස් වනු ඇත වැටකොටු බිදිනා දිනක

මහ සද්දෙන් 6යේ කණිසම වැදෙයි
කිසිවකු පසුපසින් නොවෙයි
ඒ තවමත් ඒ දනන් දුවයි
ජීවිතය පසුපසින් එළවනුද සැකයි

Sunday, April 22, 2012

සඳත් මිය යයි දිනක
















රාත්‍රිය නම් තවම තරුණය
හිත
නම් දැන් ටිකක් මහලුය
නන්නත්තාර තනිකම පෙලන ජීවිතය
සින්නකරම ලියාගෙන එතනිකමට හුරුලෙසම

නිම්නාද දෙන පසුගිය ප්‍රේම සිතුවිලිය
සන්තානේ අවුළුවා මහ ගිනිහුළුය
අවසානේ ඉතිරි ගිනි ගැසුණු සිතුවිලිය
හැමදාම මරා නොමරා මරණ

මැදියටම ළංවේ
ද්දි හැමදාම
කවුලුවෙන් ගුහාවට පනින
තනිකමට මට කවට කම් කරන
සඳත් මළකා මැරෙයි ළගදිම
දියවී උණු කඳුළු ලුණු රසට

ගුහාගත වූ සිතුවිලය
නිවාගනු හලන මධුවිතය
පිච්චි පිච්චි හෙළන මදහසය
අච්චු දෙන තරම් ජීවිතය

සඳත් මියයයි දිනක
නිහඩ නිසල අඳුරු රැයක
සිතත් මියදෙයි ඒ රැයෙම
දරාගත නොහැකිව ඒ අඳුර තනිකම

මිලිනව යන්න මොහොතකට පෙර



 












කල පැමිණ ඇත
සමුගන්න
ළපටි සුළඟට සමුදෙන්න
... දැන් ඉති නාඩන්න
මට සමුගන්න ඉඩදෙන්න

හමුවීම සහ වෙන්වීම
ජීවිතය බව පසක්කර
අතීතයේ සීතල සැමරුක් ළග
ඩිංගිත්තක් ඉඩ දෙන්න
මොහොතක් නවතින්න

වසන්තයේ අවසනට
පැමිණ ඇත අද
මෙයයි ඒ අවසන් මොහෙත
ගිලිහීවැටෙන්නට
පෙර සුපුල්වන් කුසුමක්ව
මිලින වී පරව යන්න
අතීතය පාමුල

දැන් ඉතින් නාඩන්න
ඔබ ඔහොමම ඉන්න
තවත් වසන්තයක්
එයි නොවරදීම

ඒදාටත් මේ වගේ
ළපටි සුළගින් සැනසෙන්න
දැනෙන දුක හිතේ තදකර ගෙන ඉන්න
කඳුළු එපා මට පෙන්වන්න
මට යන්න අවසර දෙන්න

වැළපෙන කවිය පාමුල



 












ඉවසීම සටනක්ය
වැළපීම හිත තුළ වන තරමටම
තෙරපුමක සැගවුණු සිතුවිලිම
ගුළිකොට දමා ගසනෙමි
තනිරකින අඳුරට

මූව අගිස්සෙන්
පෙරළ පෙරළී පනින
කැඩෙන විසිරෙන දුම්රැල් විලසින
ගොජදමා බලෙන
තැලෙන පොඩිවෙන අතරෙම
නැගිනි හදවතේ පළමු ඉකිගැසුම
නැගෙය රැයේ අවසන් තත්පරේ
ගෙවීයන්නට ප්‍රථම

මදුවිතට සැන්ඩිකර
හුදකලා මේ රැය
බුර බුරා නැගෙන තනිකම
හදපුර විදී ඉදිකටු තුඩැති හීසර

පුලු පුලා දිදුළ දෑස් කෙමි කෙළවරක
ලියව ඇත ගිලිහෙන්ට ඔන්න මෙන්න කවක්
ඉවසීම සටනක් බව

ඉවසපන් ඉවසපන්
මොර නගන විටදි හිත
නෙතු පියන් වාරු නැත
හිදිනට ගල් ගැසුන විලස
දෑස් කෙමි පුපුරවෙන
වැටෙන පළමු කඳුළක්ද
අසල වැලපෙන කවියක්ය
දරගනු නොහැකිව තනිකම

ගණදුරු රැයේ මේ විසල් පුර
අවසන් කණාමැදිරි එලියත් නිවීගිය පසුව
පවර දෙමි හදවතට
වැලපෙන කවිය පාමුළ
වැළඳ වැලපෙන්න
හැදකලා රැය ගෙනීයන තුරුම

නිහඬ ආදරය ​



අපි කථා නොකරන්න ගත්ත දින තමයි
අපේ ආදරේ උත්කර්ෂවත්ම දිනය
මම එක කොනක
ඔයා තව කොණක
අපේ ආදර භාෂාවට පණ ඇවිත්
මුව නොසෙල්වා
වචනයක් නැතිව
ආදරය කථා කරන්න පටන් අරන්

දැනෙනවා
අපේ ආදරය කථා කරන්න අරන්

කල්පයක් තිස්සේ වචනයෙන්
කිය කියා නොතේරුණු
ජීවිතේ පුංචි පුංචි තැන්
හරි පැහැදිලිව
කථා කරනවා ආදරය එක්ක
එක වචනයක් නැතිව
අංග චලන කිසිවක් නැතිව
ආලෝක වර්ෂ ගණනක් දුර සිට
ආදරය කථා කරන්න අරන්

ඔබේ සෙවනැල්ලටවත්
නොපෙනෙන්න
මගේ සෙවනැල්ලටවත්
නොපෙනෙන්න
අපේ ආදරය කථා කරන්න අරන්

දැනෙනවා
ආදරය කථා කරන්න අරන්

කුරුසයට බර වැඩි ජීවිතය



















මරියා
එන්න
කුරුසියට කරදෙන්න
අඬ අඬා
නොයිද
මග දිගට

මොනාලීසා
එන්න
දෑස විසලකර
බලා ගෙන නොසිට
කුරුසයට වැඩි බර
ජීවිතය ඔසවන්න

වෙඩි තැබූ පසු



නිල් පැහිති දුම් රොදක් නික්මිනි
ළයක් සිදුරු වී කීතු කීතු වී ගියේ සැණෙකිනි
රක්ත වර්ණ රුධිර කඳම්බ පොළා තල මත
සාදා සිහින් රුධිර ගංගා
කපාලු ගසක මෙන්
දූවිල් පොළව මත
වැලි කැට එකින් එක
සිප ගති

එකෙක් ජය පැන් බොති
තවකෙත් කඳුළු සයුරක කිමිදෙති

මහා පිරිස් දෙකට බෙදුනි
ගුණ ගයා එකෙක්
දොස් තබා තවකෙක්
ඉර මළ සන්ධ්‍යාව පැමිණෙන්නත් පෙරම
මහ පොළව පස් අතරම සැගවුනි

අවසන
පනින විට කඳුළු 
උණුසුමින් හිස හෙවූ
එකම
උරහිසත් තැති වුනි

පුත ෂේදු රාගවන්















පහ වසර සිසුවා අධ්‍යාපන ඇමතිට වඳින්න බෑ කියලා
-පුවතක්


මුලතිව් මහ වන මැද්දේ
තවමත් කුසුම් ඉදහිට පීදේ
කළු දෙබර රඟ අස්සේ
රාගවන් නුඹ වීරයෙකි පුංචි පුතුනේ

සත් පියුමෙන් බට විගස
පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනෙන
මහ විසල් තුරු වරුණ
ක්ශේරු බිඳගත් මහ රැල නිබඳ
තලා දමන්නට සැරසෙනු ඇත එ මල

පුත එ දැන පය තබපන් පෙරට
නුඹට උරුම බිම් මග සොඳ ලකුණු මැන
විසල් අහසට බට පුන් සඳ විලස
එළිය කරාපන් ඝනදුරු මුලතිව් අහස

කෙසර හැලී තිබුණ ද
නුඹ බිම සැම තැනක
එ බිම මතට වැඩ
සුදු ඇදන් බණ කියූ සාදු දැක
නොසැලී හිදින් පුත
එබිමට නැගෙනතුරු නව ඉර

පුතේ, අපි තවම මඟබලන් ඉන්නවා
















පුතේ නුඹ නමට තැනූ බිම මත
අලුත් මල් දැන් පිපෙනවා
දනන් ඇවිදින් මල් අතර සරනවා
මල් පුසුඹ විඳිනවා
හරි හැඩයි කියනවා

නුඹට පෙවු යදම් ගුළි
මගේ හෘදය
තවම ගිනියම් කරනවා

කෙවෙනි අද්දර නොනිදා ගලන
කදුළු උණුසුම දන්න
හදවත් පත්ලේ
සිරවුනු ඉකි වැලක
අප්පච්චිගේ හීල්ලුම
තවමත් රැයපුරා නොනැවතී නැගෙනවා

පුතේ නුඹ
අද එයිද හෙට එයිද
කියා උන්දෑ තවම
මළවුන්ගේ හැන්දෑවේ
කඩුල්ල තනි රකිනවා

අඳුරු මූසල මරණීය රාත්‍රියේ
පැමිණ රැගෙන යන්න ගිය
මගේ අහිංසක මල
තලා පොඩිකළ ලෝකයම
අහිංසකාරාමයේ අලුත් සුවඳැති මල් සොයනවා

පුතේ නුඹ අද හෙයිද හෙට එයිද
අපි තවම මඟ බලනවා

[සටහන- අතුරුදහන්වූවන් සිහිකර පාර්ලිමේන්තු වටරවුම අසල ඉදිකළ අහිංසකයන්ගේ ආරාමය ආසන්නයේ මල් පැළ ප්‍රදර්ශන පැවැත්වෙන බවත් මේ වන විට අහිංසකාරාමය මල් වෙළෙන්ඳන්ගේත් මල් පාරිභෝගිකයන්ගේත් පොදු වැසිකිළියක් බවට පත් වී ඇති බවත් පසුගිය දා රාවය පුවත්පත හෙළි කළේය.]

එසඳ සාක්ෂි















ලේ කඳුළු පුරෝගෙන
අදත් සඳ ඇවිත්
තනිපළේ ජනේලෙන් එබෙයි
කියාගන්නට නොහැකිව ලතව

හැමදාම පුරුදු මොහොතෙම
නොවරදවාම පැමිණ
මූණට එඹී එක ලෙසම
යළිත් නැගේ අහසටම
ලේ ගලන කඳුළු පුරෝගෙන

උඹත් අප වගේමයි
වෙනස කෙස්ගසක තරමයි
මළමිණී කඳු ගැසුණු රටක
සාක්‍ෂිය නුඹයි ඇස දුටුව එකම

සුවහස් දනන් අහක බලා ඉන්නා සඳ
මියැදෙන උන් කුණුව යන තුරුම
උඹ පමණි සඳ
ඇසපිය නොසෙලා බලා සිටි එසඳ

දෙසවනේ රැව්දෙන
කඳුළු විලාපයේ දෝංකාර
මුහුනතම රතුකරපු
ගැලූ උණු ලේ හුමාලය
නුඹ නැගෙන හැම පුරපෝය රැයම
රතුම රතු කරවයි
උතුරු අහස ම තවම

වහන්නට හැමදාම
අමතක වන තනිපළේ ජනේලය
අසලට එබෙන සඳ
කියන්න සැරසෙන
ඒත් නොකියාම යන
හිතේ කැකෑරී නුඹ පෙළන
ඈස දුටු සාක්‍ෂිය
කියාපන් අමාවකේ සැගව යන්නට ප‍්‍රථම
තනිපළේ ජනේලෙන්ම පැමිණ

සොහොන් කොත ද අහිමිව

 













ලේ බිඳුවකින්
පණ පෙවුණු, දා බිඳුවක පහස ලැබ
දළුලා වැඩී අතු පතර විසල්ව පැතිර ගිය
එක් මහා වෘක්ෂයක අග්ගිස්සේ පිපුණු
රතුම රතු මලක් මිලිනව වැටී ඇත
කාෂ්ටක රතු පස් පොළොව තදින් බදා
සරු පසට එක් වෙන්න
වෘක්ෂයටම පණ දෙන්න

වෘක්ෂය අසල
පොළව සිප ගන්න
හැම මලකම ඇත සළකුණුව
ඇත තවම උණුසුම්ව
යකඩ ශ්‍රී පතුලක සටහන්
බර අඩිතබා
පොඩිව යනතුරු ඇවිද ගිය වග
එමල් මත

පිපුණු සැම මලකම
සාරය ලැබ අතුපතර විහිද
නිදහසේ විමුක්තිය
ලැබ දෙන්නට දනට
භූගතව ලැගුම් ලා ඇත
එ මල්
සොහොන් කොතද අහිමිව

අමතක කරනු කෙලෙස ද්වාරකා නුඹ


















සඳවත කුසුම මිලිනව ඇත 
අඳුරු සීතල
සිර කුටියක කොණක
හදවත දවනු ඇත
පෙරදා සරසවි මතක
එක්ව හුන් සොයුරු කැළටත්
අමතක වූ කලක
අමතක කරනු කෙලෙස
"ද්වාරකා" නුඹ

අදයි කාන්තා දිනය
විමුක්තිය, නිදහස
සමතැන ඉල්ලා
"ආශ්චර්යයේ දියණියෝ"
කොළොම්තොට රඟන
වැට කොටු බැද සිරකෙරූ
නුඹ නිදහසේ සමතැන
අමතක කරනු කෙලෙස
"ද්වාරකා" නුඹ

යකඩ සපත්තු හඩින් බියවූ සිත සන්සුන් වේවා
තල් රුප්පාව සිහිනෙනේ හෝ පෙනේවා
උතුරු කොණම නිදහස් වන දින ළංවේවා
ඒ නිදහස් සුළඟ හමනතුරු සිත තව දිරිවේවා