Sunday, April 22, 2012

එසඳ සාක්ෂි















ලේ කඳුළු පුරෝගෙන
අදත් සඳ ඇවිත්
තනිපළේ ජනේලෙන් එබෙයි
කියාගන්නට නොහැකිව ලතව

හැමදාම පුරුදු මොහොතෙම
නොවරදවාම පැමිණ
මූණට එඹී එක ලෙසම
යළිත් නැගේ අහසටම
ලේ ගලන කඳුළු පුරෝගෙන

උඹත් අප වගේමයි
වෙනස කෙස්ගසක තරමයි
මළමිණී කඳු ගැසුණු රටක
සාක්‍ෂිය නුඹයි ඇස දුටුව එකම

සුවහස් දනන් අහක බලා ඉන්නා සඳ
මියැදෙන උන් කුණුව යන තුරුම
උඹ පමණි සඳ
ඇසපිය නොසෙලා බලා සිටි එසඳ

දෙසවනේ රැව්දෙන
කඳුළු විලාපයේ දෝංකාර
මුහුනතම රතුකරපු
ගැලූ උණු ලේ හුමාලය
නුඹ නැගෙන හැම පුරපෝය රැයම
රතුම රතු කරවයි
උතුරු අහස ම තවම

වහන්නට හැමදාම
අමතක වන තනිපළේ ජනේලය
අසලට එබෙන සඳ
කියන්න සැරසෙන
ඒත් නොකියාම යන
හිතේ කැකෑරී නුඹ පෙළන
ඈස දුටු සාක්‍ෂිය
කියාපන් අමාවකේ සැගව යන්නට ප‍්‍රථම
තනිපළේ ජනේලෙන්ම පැමිණ

No comments:

Post a Comment