හතරේ කණිසම වැදුණි

ටාංං...ටාංංං...ටාංං... මහ ඔරලෝසුවෙන් තුනේ කණිසමද වැදුනි. හ්ම්... එහෙනන්ම් තුනත් වෙලා. වෙන කවරදාකවක් පපුවට නොදැණුනු තරමේ හුස්මක් ගතිමි. හෙට එළිවෙන්නට ඇත්තේ තවත් හෝරා කීපයක් පමණි. මම නිදා හුන් පැදුරු කඩමාල්ලෙන් නැගිට්ටෙමි. කෑලිකපන ඝණ කරුවලක් කුටිය පුරා විහිදී පැතිරී ඇත. වෙනදාටත් වඩා කරුවල වී ඇති බව දැනුනි. ඒත් ඒ ඔස්සේ එහෙට මෙහෙට ඇවිද්දෙමි. යළිත් සුළි කුණාටුවක් තරමේ හුස්මක් ගතිමි. සන්සුන්ව සිටියේ මොහොතක් පමණි. ගස් සම`ග පොරබදන මහා සුළගක් පරිද්දෙන් යළිත් මහා ආවේගයක් මා තුළට ඇතුළු වන්නට  පෙරබඳී. මම පැදුර වටා වේගයෙන් ඇවිද්දෙමි. තවතවත් වේගයෙන් ඇවිද්දෙමි.
නෑ මං එන්න දෙන්නේ නෑ. නෑ නෑ නෑ... මගේ හිතට මේ වෙලාවේ සක්කරයා ආවත් ඇතුළට යන්න දෙන්නේ නෑ නෑමයි. මේ හොදටම ඇති... මේ බර හොදටම ඇති. ආපුදේවල් ගිය දේවල් හොඳටම ඇති. තවත් දිග හුස්මක් ගතිමි. මම මගේ හිත සම`ගම සටන් වදින්නට වීමි.
අවසානයේ පැදුර වටේට ඇවිදීමෙන් කැරකිලි ගතියක් දැනී, මම  පැදුරට  වත්තමි වී යළිත් මුනින් තලා වනි. වැස්සක් පායමින් යන ලෙසින් හිතට නැවත සන්සුන්වෙමින් යයි. අ`දුරේ ඡුායාවට පේන වහලය දෙස බලාගෙන ඔහේ කල්පනා කරමි.
 අද හොඳට හඳ පායලා ඇති. මම මටම කියමින් මම සම`ග මමම කථාකරන්න පටන්ගත්තෙමි. 
උඹට මතකද උඹ පුංචි කළේ අම්මගේ උකුලේ ඉදගෙන පැද්දි පැද්දි හඳ දිහා බලාගෙන කථාන්දර කියා දෙනවා.  මම මගෙන්ම ඇසුවෙමි. ඔව් මට කොහොමද ඒවා අමතක වෙන්නේ. මට ම මම පිළිතුරු බඳී.
හදේ ඉන්න සුරගනාවියො ගැන... එයාලගේ ලස්සන... අම්ම කියා දුන්නා මට හොඳට මතකයි...
නෑ උඹට ඒ මොකක්වත් මතක නෑ... මගේ හිත මට කෑගසයි. උඹට කොහොද කියන්නේ ඒවා මට මතක නෑ... කියලා ආහ්... මම මදක් ආවේගයෙන් යළිත් මගෙන් ප‍්‍රශ්ණ කරයි.
හරි එහෙන්ම් කියපන් කවදද උඹ අන්තිමට හඳ දිහා බැලූවේ... මගේ හිත මටම ගුගුලා අභියෝග කරයි... මට එක පාරටම දෙන්නට උත්තරයිත් නොමැත. ඇත්තටම හඳමට අමතක වෙලාද? මට අමතකද?  නෑ මට අමතක නෑ ... මට අමතක නෑ...මට මොනව කිව්වත් අමතක නෑ.  මම කෑගැසුවෙමි.
මම යළිත් පැදුරෙන් නැගිට්ටෙමි. මගේ මුළු ඇ`ගම දාඩියෙන් නැහැවී ඇත. මම පැත්තක ඇති කම්බිකූරු ගැසූ කුඩාම කුඩා කවුළුව ළ`ගට ගියෙමි. එයට අහුරා ඇති කාඞ්බෝඞ් කැබලි වියරුවෙන් මෙන් ඉරා දැමුවෙම්. දැන් යන්තම්න් එළිය පෙනෙයි. ඒත් මඳ තවම මට පෙනෙන මානයට පැමිණ නැත. මම කවුළුව ඇතුළට හිස ඔබා හද බලන්නට උත්සාහ කළෙමි. නෑ තවම පෙන්නේ නෑ. තවම නෑ.
මට හඳ බලන්න  ඕනේ යකෝ  මට හඳ බලන්න  ඕනේ. මට  ඕනේ... මම අල්ලපු මැදිරියට කථා කළෙමි.
යාළුවා උඹට හඳ පේනවද? යාළුවා උඹට හඳ පේනවද?    කිසි පිළිතුරක් නැත... උඹට හඳ පේනවද බල්ලෝලෝ ලෝ ... මම යටි ගිරියෙන් කෑගැසුවෙමි.
සම`ගම යකඩ සපත්තුවක ටොක්... ටෝක්... හ`ඩක් ළ`ගම ඇසෙයි. මට හඳ පෙන්නපල්ලා... මම උගුර පුපුරා යන තරම් හයියෙන් කෑගැසුවෙමි. දැන් සපත්තු හ`ඩ මා ඉදිරියේය.
අනේ මට හඳ පෙන්නපල්ලකෝ අනේ නේ නේ...  මම අයදී. මේ... මේ... මේ... මේ වඳ දෙන්නේ නැතිව බුදියගනින්, ? තිස්සේ වඳ දෙනවා කාළකණ්නියා. පොඞ්ඩක් හිටහං උඹට කොහොමත් හඳයි තරුයි දෙකම දෙනවා තව පැයි කීපයකින්... දෑන් කෑනොගහ නිදාගනින් පරයි... කට කුඩුකරන්න කළින්...
මම උමතුවෙන් මෙන් කුටිය වටේ ඇවිදී. වේගයෙන්...වේගයෙන් මට කැරකිල්ල සහ  පණනැති වී ඇ`ගම කඩාවැටෙන්නට යන සෙයක් දැනුණි. ඒ ඇසිල්ලේම විසිවීගොස් අසල බිත්තියේ වැදී බිම ඇදවැටිනි. ඇ`ගම පණනැතිම යයි. හුස්ම ගන්නටද අමාරු විය.  මම යළිත් වරක් නැගිටින්නට තැත් කළෙමි. නැගීසිටින්නට වාරුවක් නැති නිසා නැගිටින්නට වෙර දැරීම අත්හලෙමි.
මගේ හිත දැන් ආයෙත් ඒමේ අත දුවයි. අතීතයට වේගයෙන් දිවයිය. හරිරය පසුපසට වීඩියෝ පටයක් යවන ආකාරයට. එක තැනකදී මා නතර වන්නට විය. ඒ කුමාරිය. ඇය සර්ව සම්පූර්ණයෙන්ම මට බිරිදක් විය. දැන් ඇගේ මතකය සම`ග අයත් සම`ග තවත් අතීතය වෙත යයි.  අප දෙදෙනාට කවදාවත් හඳ එළියේ ඇවිදිමින් පෙම් සුව විඳින්නට මොහොතක් ලැබී නැත. එහෙම කියා එය අපට අඩුවක්ද නොවුනි. අප දෙදෙනා එකට සිට හඳ දෙස බැලූවේ එකම දිකකදී පමණි. ඒ  අපේ සම්බන්ධයට ගෙවල්වලින් අකමැති වීම නිසා අප ගෙවල් වලට හෙරෙන් පැනලා ගිය දවසයි. කැපුවත් කුමාරිව දෙන්නේ නැතැයි කියා කුමාරිිගේ ලොකු අයියා කණට ගැසූ දිනම මම තීරණයක් ගත්තේය. දැන් මම මොකද්දෝ නොතේරෙන රිද්මයක් ඔස්සේ අතීතය වෙත ගමන් කරමින් සිටී. මම එය මොකක්දැයි තේරුම් ගැනීමට උත්සහ නොකලෙමි.  මම දැන් වඩාත් උස් හඩින් කථාකරයි. සමහර විට මම කථාකරන්නේ අල්ලපු මැදිරියට වෙන්නට පුළුවන.
අපි එක දවසකදී තීරණය ගත්තා. අද ? අපි පැනලා යනවා කියලා. යන්නේ කොහාටද? මොනවද ගිහින් කරන්නේ ? කිසි දෙයක් ගැන හිතුවෙවත් නෑ. මම ඒ මුකුත්ම කුමාරිට කිව්වෙත් නෑ... කුමාරි මගෙන් අහුවෙත් නෑ... අපිට  ඕනේ අපිට කියලා ජීවිතයක් හොයාගන්න විතරයි. එදා ? මම අතට අහුවෙච්ච කලිසම් දෙකකුයි, කමිස දෙකකුයි බෑග් එකේ දාගෙන මැදියම වෙනකන් ඇදේ ඒ අතට මේ අතට පෙරළි පෙරළි හිටියේ ඉවසන්න බැරි නොඉවසිල්ලකින්. මට හරියට දැනුනේ තවත් මොහොතකින් මම ජයග‍්‍රාහකයෙක් කියන හැ`ගීම විතරයි. බයක් කියලා නාමයක් මට දැනුනේ නෑ. ටික් ටික් ටික් ටික්... වෙලාව දෙළහා වැදුනා විතරයි මම පිටිපස්සේ දෙර ඇරගෙන එළියට ආවා. සද්දයක් ඇහුණත් අපේ ගෙදර ඇයි මේ වෙලාවේ කෙහෙද යන්නේ කියා අහන්න උවමනාවක් ඇත්තෙක් නොවීය. සියල්ලෝ නින්දේය. 
එදා හඳ හොඳට පැහැදිලිව පායලා තිබුණා. හරියට මට පාර පෙන්නන වගේ. ඒත් රාත‍්‍රිය මහ සීතල රාති‍්‍රයක්. වටපිටාවෙම උණුසම් යමකට තිබුණේ මගේ හිත විතරයි. ඒ නිසා මම ඇ`දන් හැටිය ටී-ෂර්ට් එකට උඩින් තවත් කමිසයක් දාගත්තා. සීතලෙන් බේරෙන්න. මම  එක හුස්මට දෙවැටෙන් පැන මහ පාරට වැටී කුමාරිලාගේ ගේ අසලට දිව්වා. ෂ්...ෂ්...ෂ්...ෂ්  හ`ඩක් නගමින් සංඥාවක් නිකුත් කලා. දන්නවද  ඇය ආවේ  විනාඩියක් විතර ප‍්‍රමාද වුනා. ඒ විනාඩිය  ගෙවෙන්න මට මගේ ජීවිත කාලෙට වඩා දිර්ඝ වුනා යාලූවා. ඇත්තමයි... එයාගේ මුහුණේ තියෙන්නන බයද නැත්නම් සතුටද කියලා තේරුම් ගන්න බැරිවුනත් මම ඇගේ සීතල වී ඇති අතෙන් අල්ලා ගත්තිමි. අපි දුවගෙන දුවගෙන ගියා. ඒ සම`ගම පැමිණි බස් රථයට මා අත දැම්මෙමි. බසය නැවැත්වීය. මම ඇයව ගෙන බසයට ගොඩවුණි. අන්තිමට අප නැවතුනේ අම්පාරේය. ඒදා අපි අපේ ලෝකය සොයා දුවනවා දුටුවේ එකම එක් තැනැත්තෙක් පමණි. ඒ හඳයි. අපි බසයට ගෙඩවූ විගස හඳ දෙස බැලූවේ කළගුණ සළකන්නටය. ඒ අපේ රහස හෙළි නොකලාටය.
ඊට පස්සේ හඳ දිහා බලපු දවසක් මතක නෑ. මට මතක නෑ. නැවතත් මගේ හිතට මතකයේ ආවේගය කාන්දුවෙමින් වෙන්නට එයි. මම පැදුරෙන් නැගිට යළිත් වේගයෙන් කවුලූව අසලට ගියෙමි. දැන් හඳ මම පෙනෙන මානයට පැමිණ ඇති හඳ දෙස  උමතුවෙන් මෙන් බලා උන්නෙමි.  තවත් නම් මට හඳ දෙස බලා සිටිය නොහැකි බව දැණුනි.  ඒ සම`ගම මගේ හුස්ම හිරවෙන වෙන්නට විය. මම බෙල්ලත් බඳා ගනිමින් බිත්තියේ පහළ කකුල් ද  එක් කර ගනිමින් ගුළිවිය. හිත ඇතුළේ සිට මහා කාළකන්ණි හැ`ගීමක් මොරදෙයි. තවත් මොහොතකින් එය එළියට එනු ඇත. මම තවත් ගුළිවුනෙමි.  ගුළිවී හැකි තරම් ශබ්දයෙන් කෑ ගැසුවෙමි.
මේ කවුළුව වහලා දාපල්ලා.. වහලා දපල්ලකෝකෝ කෝ... මම යටිගිරියෙන්් කෑගැසුවෙමි. යළිත් සපත්තු හඩක් ළ`ගම ඇසෙයි. දැන් ඒ හඩ මා ඉදිරියේය.  අෘයේ උඹට කියන්නේ නෑ... දැන් කරුණාකරලා නිදාගනින්. නිදාගනින් යකෝ.. එය විධානයකි. මාගේ හැගීම විධානයන්ගේ පාලනය කර නොහැකි සීමා ඉක්මවා යමින් තිබුණු නිසාම
නිදාගන්න නේ...නිදා ගන්න නේ... හාහ් හාහ් හ්...නිදාගන්න , නිදාගන්නේ කොහොමද යකෝ? කොහොමද? අර අර හඳ, උඹට පෙන්වද අරර අර තියෙන්නේ. ඒ හඳ මට ඔච්චමි කරනවා. උඹලා අපි ඔක්කොටම  ඔච්චම් කරනවා. උඹ දන්නවාද ඔහොම ඔච්චම් කරමින් තමයි එදත් බලාගෙන හිටියේ. අදත් ඒ විදියටම බලාගෙන ඉන්නවා... උඹ කියපන් මිත‍්‍රයා  කොහොමද මම නිදාගන්නේ කියලා. මා සිටින කුටියේ මුරට සිටින ඔහු මගේ මිත‍්‍රයෙකු වූයේ කෙසේදැයි මා නොදනී. නමුත් ඔහුත් මමත් මේ හඳ ඉදිරියේ එකම ලෙස අසරණ වග දැණුනු නිසාවෙන් මිත‍්‍රයා කියා ඇමතුමි.
මා දිහා මොහොතක් බලාසිටි ඔහු යන්නට ගියේය. ඒත් මම දිගටම කියවයි.
එදා උඹලගේ ඔය මහ ලොකු හඳ එදා මොනවම හරි කිව්වනම් අද මම මෙතන නෑ යාලූවා.  හැමදේම  වෙනකන් උඩට වෙලා මහ ලොකුවට බලාගෙන ඉඳලා දැන් දිස්නෙට හිනාවෙලා ඉන්නවා. අනේ මගේ හා පැටික්කි කොච්චර ආදරේකළාද ඔය හඳට. මම මහ හයියෙන් කෑගසා හ`ඩන්නට වුනෙමි.  මගේ පැටික්කි හොරු අරගෙන යද්දිත් ඔය හඳ ඔය විදියටම බලාගෙන හිටියා. කිසිම දෙයක් කරනවා තියා කියන්නෙවත් නැතිව. බලාගෙන හිටියා.
ඒයි යාලූවා උඹට මාව ඇහෙනවද? මා යළිත් අල්ලපු මැදිරියේ සිටින්නාට කථාකරයි.  උඹ දන්නවද මට හිටියා සුදුම සුද හා පැටික්කියෙක්. අහිංසක හුරතල් රෝසපාට  පිරුණු කම්බුල්, ඇස් පුංචි කරලා හිනාවෙන  ඒ හිනාව මම කොහොමද අමතක කරන්නේ??  මගෙයි කුමාරිගෙයි ලෝකයම වූනේ අපේ පැටික්කි. ද`ගවැඩක් කරලා අම්මගෙන් ගුටියක් කාපු ගමන් මගේ ළ`ගට දුවගෙන එනවා... තාත්තී අම්මී ගැහුවාාා කියලා. පැටික්කි ඉස්සෙල්ලාම පුංචි කට හද හදා කිව්ව පළවෙන් වචනේ තාත්තා කියලා. මම දන්නේ නෑ යාලූවා ඒ ඇයි කියලා. අම්මා බනිද්දි අපි වැස්සෙ තෙමුණා. මඩ අතගාන්න එපා කියද්දි අපි මඩ අනලා එක එක බලි හැදුවා. මට ජීවත්වෙනවා කියලා දැනුනේ පැටික්කි අපේ ලෝකයට ආවට පස්සේ.  යාලූවා උඹටත් ඇති සමහර විට මේ වගේම පැටික්කියෙක්. මම තවම නොනවත්වා කථාකරමින් යයි.
එකද වස් ... ඒක මහ අඳුරුම අඳුරු මූසල දවසක්. මගේ පැටික්කි හිටි ගමන් අසනීප වුනා. කථාකරන්නේ නැතිව ගියා. මම මගේ හා පැටික්කිව උස්සගෙන ඉස්පිරිතාලෙට දිව්වේ පිස්සුවෙන්. මම ඉන්න හැමකෙනාගෙම කකුල් ළ`ග වැද වැටිලා කිව්වා මගේ පැටික්කිව බේරලා දෙන්න කියලා. මම හැම කෙනාටම කිව්වා. ඒත් එත් දන්නවද යාලූවා උන් ඔක්කොම අකුරට වැඩලූ. ඒනිසා මම කියන එක කාටවත් ඇහුණේ නෑ.
මම නැවත වරක් හුන් තැනම සිට හඳ දෙස බැලූවෙමි. හඳ උඹටවත් ඇහුණේ නෑ. එදත් උඹ ඔය විදියට හිටියා. රෝහලේදී කිව්වේ පැටික්කිට මුකුත්ම ලෙඩක් නෑ කියලා. එත් මට දැනුනා එයාට අමාරුයි කියලා. එයා කට උලූක්  කරමින් මොකද්දෝ මට කියන්න හැදුවා. ඒ එක්කම පැටික්කි අපිව දාලාගියා යාලූවා. අපිව දාලා ගියා. මා නැවතත් හැකි තරම් සද්දෙට ඇඩුවෙමි.
මම එදා මගේ පපුව පැලෙන්න ඇඩුවා. අඩලා ඉවරකරන්න බැරිවුනත් අඩන්න බැරි  වෙන තරමටම ඇඩුවා. හැබැයි මට කුමාරි අඩන එක දිහා බලගෙන ඉන්න බැරිවුනා. මගේ ලෝකය මේ කඳුළු එක්කම දියවෙලා යනවා වගෙයි මට දැනුනේ. අපි දෙන්නා කොපමණ වෙලා ඇඩුවද කියලා මට මතක නෑ. ඒ කඳුළු අතරින් මම පෙන්න ගත්තෙම පැටික්කිව. එයා මට මොනවදෝ කියන්න හදනවා. තාත්තී කියලා කෑගහනවා වගේ මට දැනුනේ.
මට තවත් ඉවසගෙන ඉන්න බැරිවුනා යාලූවා. මම අතට අහුවුනු පොලූ කෙටියත් අරගෙන මම කකුල් දෙක අල්ලා වැන්ද එකාගේ ඔළුවෙන් ලේ පෙරෙන තුරුම ගැහුවා. ඔව් මම ගැහුවා. මට වෙන කිසි දෙයක් පෙනුනේ නෑ. මට හතර අතේම පෙනුනේ මගේ හාපැටික්කිගේ රෝසපාට මූණ විතරයි. ඔය හඳ එක දිහාත් ඔහේ බලාගෙන ඉන්න ඇති.
එයි හඳ උඹට මින්පුසු හා පැටික්කියෙක් නෑ.  ඒ පැටික්කිව හොර අරගෙන ගිහිල්ලා. හොරු අරගෙන යනකන් උඹ බලාගනෙ ඉදලා.  මම දන්නවා උඹට වගේම ඒ  දොස්තරලටත් තවත් එක පැටික්කියෙක් විතරයි මගේ පැටික්කි. ඒත් ...ඒ මගේ ලෝකය. මගෙන් උදුර ගත්ත මගේ ලෝකය. මම යළිත් හඳදෙස බලාගෙන කෑගසයි. එහෙත් දැන් මගේ කෑගැසීම නවත්වන්නට කිසිවෙකු පැමිණෙන්නේ නැත.
යාලූවා...මම නැවතත් අල්ලපු මැදිරියට කථාකරයි. උඹ අහගෙනද ඉන්නේ?? මම දන්නවා උඹ අහගෙන නෑ කියලා. කමක් නෑ මම උඹත් එක්ක තරහා නෑ. මම මගේ පැටික්කි ඉන්න තැනට ඇහෙන්නම කෑගහනවා. එයා දන්නවා එයාගේ තාත්තා එයාට කොච්චර ආදරේ කළද කියලා.
මම හදිසියේම යමක් මතක් වූ ලෙස නැගිට සිටියෙමි. බිත්තිය මැදිරි දෙක වෙන්වන බිත්තිය අසලට ගොස් යාලූවා... හෙට මාව මරණ තීන්දුව දෙනවලූ.
හඳ, උඹ හෙටත් ඔහොමම බලාගෙන ඉඳී. මට කමක් නෑ. මට දුකක් ඇත්තෙම නෑ. මාත් යනවා මෙගේ හාපැටික්කි ගාවටම.  මම එනවා...මම එනවා උඹ ඉන්න තැනටම එනවා...මම මේ මුළු ලෝකයටම ඇහෙන්නයි කියන්නේ මම හෙට යනවා මගේ හා පැටික්කිගාවට. එයා මම එනකන් බලාගෙන දුකින් ඇත්තේ මම යනවා...යනවා... තවදුරටත් මට කෑගසන්නට නොහැකිවිය. මගේ මුවින් තවදුරටත් වචන එළියට එන්නේ නැත.
මම කුටියේ මුල්ලකට වී තව තවත් ගුළිවුනෙමි...
ටාං ටාං ටාං ටං මහ හ`ඩක් නංවමින් හතරේ කණිසම වැදුණි.

No comments:

Post a Comment