Thursday, July 28, 2011

හෙට අලුත් දවසකි

 

 

 

 

 

සොඳුරිය
නව සඳ එළියෙ කිමිදෙන
රැයක් නොවේ මෙය
මහම මහා දවාලකි
පුරුදු හිරු ම ගිනි රස්නෙ පිඹින

පිරුවට ඇතිරූ
මංගල යහන නොවේ මෙය
පැල්ලම් පිරිණු
කහගැහුණු
චිරිස් බිරිස් ගා හඬ නගන
බොහෝ දෙනෙකු නැගි
කඹල් ඇදකි මෙය

ඔව්,
අපේ ප්‍රේමයට
කුළුඳුල් ඉමක් නොවේ මෙය
මගේ පළමු
ශුක්‍රානුවද නොවේ
ස්ත්‍රී ඩිම්භයක් සොයා යන
කුමට
පිරිශුද්ධත්වයක්
සොයමින් වෙහෙසෙන්නේද
තබමු තිත
ඉදින් අප දෙදෙනවත්

කුමටද
අපට සුද පිරියම්
මොහොත මනරම්නම්

මගේ හදවත් සුසානේ
රැසක් ඇත
මිය ගිය පෙමිවතියන්ගේ
සිහිවටන

ඔබේද එසේ වන්නට පුළුවන

ඔබගේද
මගේද
සිරුරු තෙරපෙන්න ඇති
තවත් බෙහෝ සිරුරු අතර

මේ මොහොත අපේ නම්
ඉඳින් කුමටද තවත්
පිරිශුද්ධත්වයේ
මොහොතක්

සක්ක
නොතබමු අපිවත්
ගරාවිටිය යුතු
මන්දිර පවුරු වලට

ඔබ මගේ
තිස්පස්වැනි පෙම වන්නට පුළුවන
මම ඔබගේ
විසිපස් වැනි පෙම වන්නට පුළුවන
පිරිශුද්ධත්වයේ පරළු සළු
ගලවා ඉවතහල මොහොත
ප්‍රේමයේ
කුළුදුල් මොහොතකි
නිවුම් මොහොතකි

මහ බර පිරිශුද්ධත්වයේ සලු ගලවා තබා
නිරුවත් වෙමු අප දෙදෙන
සන්තර්පණය කරමු
අප සිරුර
සූරතාන්තය පත් කරමු
අපගේ හඩා වැටුනු ප්‍රේමය

සොඳුර
හෙට
අලුත් දවසකි
අපේ දවසකි
ප්‍රේමයේ දවසකි

දෙ'මාවත අතර

 

 

 

 

 

ගලහ පාර තරම්
සෞම්‍ය සොදුරු නැතිවුවාට
වනාතේ සීවලී පාරටත්
හද එලිය ගලනවා

ගලහෙ යන
පෙම්වතුන් තැතිවුනත් මේ පාරේ
වැරහිලි ඇදගත
පොඩි උන් හැම අතම දුවනවා

කවි කතා නොගැයුනත්
දෑස් හැර නොබැලුවත්
ඒ මාවතෙත්
ප්‍රේම පුරාවත් තියෙනවා
ගල්තාර පාදාසයට යටවුවත්
ඇත්තට ඒ පාරේ ආදරේ තියෙනවා

මැයි මල් නැතිවුනත්
මීදුම් සේල නැතිවුනත්
බලා සිටින්නට හැඟුම්බර හන්තාන නැතිවුවත්
මේ අදුරු මාවතෙත් මිනිසුන් සිටිනවා

ඒ වුනත්
ගලහ පාරම රිදුම් දෙන
සීවලි මාවතම ඇදුම්කන
සොහොන් පාලුවවක් නම්
මේ දෙ'මාවතේ තවම රජ කරනවා

Monday, July 11, 2011

ඇය

 
 
 
 
 
 
 
 
ඇය පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

ඉතිං මම
ඇය අසලටම ගොස්
"ඔයා ලස්සනයි" කීවෙමි

ඇයගේ
දෑස් විසල්විය
සිත් නැලවූ සිනාව
සැනින් පලා ගියේය

ඇය
රැව්වාය
ගෙරෙව්වාය
ඉන්පසු
දිව්වාය

මම
උඹ බැලීමි
බිම බැලීම
ආපසු හැරීමි

ඇය යළිත් ආවාය
තනිව නොව ඇගේ
පෙම්වතා සමග
ඇය ආවය

ඔහු මගේ
උරහිසින් අල්ලා
හෙල්ලීය
ගෙරවීය
ඉන්පසු මූහුණට කෙලීය

දෑන් මගේ
නහය
බිදී සිදී කැඩී
ලේ
මගේ කමිසයට පෙරයි

නැවත් මම ඇය දෙස බැලීමි
ඇත්තටම 
තවමත් ඇය
පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

කොල්ලෙක් මට හූ කීය
මම ඌට මැදැගිල්ල
උඩට කර පෙන්නීය

විසංවාදී සංවාද




ලෝක වෙළඳ කුළුණේ
35 වැනි මහලේ සිට
කහටගස්දිගිලියේ
නොම්බර 5 ගෙපැලේ සිට
කරයි සංවාදය
ගජ රාමෙට
නැගලා යනවා වැඩේ ගානට

එකෙකුට එකෙක් නොදෙවෙනි
ඉන්න තැන්වලින් අගලක් නෙසෙල්වෙති
ලොකෙන් ගහන කොට
ලැකෑන් ඩෙරිඩා හේගල් උණ්ඩ
දිගිලියෙන් දෙයි
ඩීස් බණ්ඩා ජේආර් මහින්ද පුරන් අප්පු
කොටන තුවක්කු උණ්ඩ
අත්පුඩි විෂිල් ඔට්ටු
සංවාදේ වටකොට

අවසන සැවොම විසිර ගොස්
ඇත නොකියාම

ඒත මොනවද කිව්වේ
කවුද දන්නේ
කාටද ඇහුනේ
දෙගොල්ලොම උන්නේ
හිටි තැන්
ආරස්සා කරගන්න ගේමේ

Thursday, July 7, 2011

වාමවාදී අරගලය සහ ධනවාදී ජීවිතය

 
 
 
 
 
 
 
 
පෑනයි අවියයි,
ඇවිත් එකම මොහොතක
ලියන මේසය මතට
තනි රුල් කොළයි
මූනිස්සම් වැලයි එක්ක

අප්පච්චි අම්මයි,
එකම විට
මගේ මේසේ අභියස
ගෙදර හාල් තුනපහ
ඇබින්දක් නැතිලු
අප්පච්චිට දැන් බරවැඩ හොද නැතිලු
ඩීඑම්ඕ මහත්තය කීවලු
හදවත දැන් හුඟක් දුර්වලලු

නංගි,
දීග දෙන වයස
දෑවැද්ද
පෝරුවට නැගි ජයට මගුල්
කප්පරක් හුරතල් හීන ඇස්
එක් එල්ලේ බලා සිටිනවා
මා දෙස

මලය,
ඌත් දැන් ගජ ඉලන්දාරියෙක්
මටත් වඩා කර දඩු ඉස්සෙච්ච
දායාද ඉල්ලන්න ඇවිත්
උගේ ලොකු අයියා වන
මගෙන්

සයුරි,
ඇවිත් ඇත ඇයද
ජීවිතේ තීරණය ගන්න
මෙතෙක් දෑත් පටලා ගෙන ආ මග
දෙපැති බෙදෙන ඉමට
ඇයද බලා සිටී
මා තෝරන තුරු දිශානතිය

අංශු ඉඩැති
ඉදිකඩු තුඩැති
ජීවිත මුදුනත
එකම සැනින්
එක විටෙක
ජීවිත ඉඩ සොයයි
දායද ඉල්ලයි
හීන පතයි
ලොකු පුතාගෙන්
ලොකු අයියගෙන්
සුපෙමවතගෙන්

ගත යුතුමය
තීරණය
අරගලයද
ජීවිතය
සිහින ප්‍රර්ථනාද
අවියද
පෑනද

නෑතිනම්

නොකිලිටි හෘද සාක්ෂිය
දුප්පත් ජීවිතය නඩත්තුවට
උගස් කරනවාද
හොඳ මිලකට
හෙට

Monday, July 4, 2011

පළමු ගල ගසන්න



 
 
 
 
 
 
 
දකින්න
බලන්න
අහන්න
සිඹින්න
පේන්න
ලියන්න


බෑ
පුන් සඳේ
හැඩරුව

මම
දකින්නේ
බැලෙන්නේ
ඇහෙන්නෙ
සිඹින්නෙ
පේන්නෙ
ලියන්නෙ
ලැබෙන්නේ


මම ඇතුළු
හඳ යට
මිනිස්සුන්ගේ
පිපිරුනු 
හිත් ගැන
මේ අකුරු  දුටු ගමන්

මට
රවන්න
බනින්න
ගහන්න

ඕනෙ නම්
මා
මරන්න
කුණු
බිඳක් නොමැති

අතකින්
පළමු ගල
මට ගසන්න

යේගේෂ්වරී මරියා



































ඔවුහු මගේ පුත්‍රයාට
තුවක්කු බදෙන් පහර දී
ගව තොණ්ඩු ගෙල පළන්දා
ගොල් පෝසයේ එල්ලා
රත්ත රුධිරයෙන්
දෙපා පාමුල
රුධිර වගුරු බිමක් කර
ප්‍රාණය නිරුද්ධ කොට දැමූහ


ඒ අසලින්ම
ආනන්ද
සර්පයා දැක
නොදක
නාග විහාරය වැඩීය

මළ පුතුන් ගේ දේහය
පාමුළවත් බිම් කඩද
අහිමි මරියා
හෙලු කදුළු කදුළු
රලු පොලෝ ගැබ
තෙත් කළා නොව
යළිත් දෑස් කෙමි පතුළ පිරවූහ

අවනීතය - අසාධාරණව - අයුක්තිය
තුන් බිය
උට්ඨානයේ අහස පවා
පුතුන්ට අහිම කලහ

එදා
කල්වාරියේ දී
පුතු දේහය
සිදුරු කළ
ඇණ දියකර
ඔවුහු
මෙදා
ගව තොන්ඩු
ටී - 56 තනා
යළිත් රක්ත රුධිරය
පොළොව මත
හෙලා
ඒ මතට කෙළ ගසා
යළිත් පුතුගේ
ප්‍රාණය සිදූහ

Thursday, June 16, 2011

MOODS

හිරු රැසින්
දිලෙන සඳක්
හිරු අමතකව
සඳට ලියන කවක්
-------------------------------
සෙනෙහසින් මත්ව
බෝගස කෙරවල අත්තක
පෙමවතිය සමඟ
හොටෙන් හොට තවරමින් උන්
කාක්කෙක්
වැස්සට තුරල්වන තුරු
බෝගස යට
උන් මගේ
එකම සුදු කමිසය මතට
දමා වසුරු පිඩක්
ඉඟිලයයි කිසිත් නොවූ විලස
ආදර වැස්සේ තෙමෙන්න
------------------------------------
තංගමනි
පොට්ටුව නළල් තගේ දිළිසුනාට
දැලි දුවිළි සළුවක් ගත දැවටුනාට
නුඹත් යසෝධරාවකි මට
සමාවෙයින්
අභිනිශ්ක්‍රමනයටයි මේ මොහොත

සිහිනෙන් හිනැහෙන
පුංචි පුතට
කියාදියන්
අප්පා ගිය බව
රැක ගන්න පුංචි පුතුගේ බිංකඩ

තව මොහොතක්වත්
පමා විය නොහැක මට
යා යුතුමය මේ ඉරණම් ගමන
සිද්ධාර්ථත් ගියා
අලුත් ලෝකයක් හොයන්න

පුංචි පුතුට කියාදෙන්න
අප්පා කුලී හේවායෙක් නොවන වග
ඉදින් අවසරයි යන්න
ජීවිතය සොයන් සටනට
----------------------------------
අදත් පාළුයි
ගංතෙර
බංකු පෙළ
පමණි
තනියට
------------------------------
අන්ධ පෙම්වතා
-----------------------------

ළාහිරු උණුසුමත්
සිහිල් මද නළ ගෙනන සිසිලත්
අතර තිබෙනා වෙනසත්
වටහා ගන්නම්
ඔබගේ ළයට තුරුළුව
මොහොතක්

රැය තරම්ම කට්ට කළුවර දවාලක
පාට පාට හීන මවන හිත
නොපෙනෙන අනන්තයට දිවයයි
සොයා වර්ණ තැවරුණු හීනයක්

ජීවිතේ දිග පළල
සුසුම් පොදි බිදෙන
ඉමෙන් මැනගන්න
හීනයේ දිග පළල
කාලවර්ණයෙන් කියවන්න
ඔය හිත විඳගන්න
ළංව එක හුස්මක් ගන්න
තව මොහොතක්
ඔබ ඔහොමම ඉන්න
------------------------------------
පරණ පෙම්වතී ලියමනක් එවා ඇත අද

ඔබ හොදින්ද
තවමත් බීර බෝතලේ ආදරය අමෘතද
තවමත් ජීවිතය නිශාචරද
දැන්වත් කීයක් හෝ ඉතිරි කරළද

ඇය ලියා ඇත අග මෙලෙස

ඔබ ලියන කවි කියවා
මා ප්‍රිය සැමියා
කෝප වී දොස් තියනවා
ඔබ තවම ආදරය කරනවාලු මට
අනේ හැකිනම් නවත්තන්න
කට ගෙන්නක් බීගෙන ඔය ලියන ලියවිල්ල

පිළිතුර අද තැපැල් කළා මම

සුදු කොලයක් දමා
ලියුම් කවරයක
එදා වාගෙම අදත්
පිළිතුර ඇයට කැමති ලෙස
ලියා ගැනුමට
--------------------------------------------
විසල් කොන්ක්‍රීට්
පුරයේ කොණක
පුරයේ නිර්මිතයන්
කල් ගෙවූ
ටකරන් ගැසූ
මඩ ගැසුනු
ඉටි රෙද්ද පාමුල
අදුරු ඇබිති
ගුලක වෙසෙන
කළු කූබියෙක් මී මම

පිට්සා සුවඳ හමනවා
පුරය දසත
කටට කෙළ ඉනුවත්
පාන් කැබිලිත්තක් නෑ
මෙනුවර
කිසි තැනක

රෑළේම
බඩ ඇලුනත් පිටට
පෙළට කෑමක්
සොයන් යනු බෑ
කැමරා නෙත් යොමා
සිටිනවා දසත

හන්දියක් හන්දියක් පාසා
වතුරෙනුත්
මල් පිපෙනා
මෙපුර
කළුම කළු
කූඹියෙක් මි මම
දිව ගිලෙන්න පිපාසිත
----------------------------------------
නැවතුමේ අවසන්
වංගුවට
මෙහාදි
ඔබ හදිසියේ බහින්නට පොදිකමින්
මගේ අතේ රැදවූ
කොළ කැබැල්ල
තවම මං ළඟ

දවසට දෙවතාවක්වත්
සිබින ඒ කොළ කැබැල්ල
මට වැඩක්ම වැඩක නැති
ඒ කොළ කැබැල්ල
කලුවරම කළුවරේ
අත ගගා අත ගගා
කිවවන්න වෙරදරන
ඒ කොළ කැබැල්ල
-------------------------------------
එකමත් එක රටක
එකමත් එක දිනක
එකමත් එක කාලයක හිඳ
කථා ගොඩයි
එකමත් එක ගැන

ඉතිහාසය එකමත් එක තැනක
මුළු රටම එකමත් එක තැනක
බඩගින්නත් එකමත් එක තැනක
ජීවිතයත් තවම එක තැනක

පැරෂුට් බැලුම් ජීවිතය පුරා
ඔලමොල වදන් ආත්මය සිසාරා
එකමත් එක රටකි අප මේ ඉන්නා
---------------------------------------
මහ වන අඩවියේ
ආත්මය අත දරන්
විමුක්තිය සොයනවා
ගරිල්ලෝ

සතර අත
වටකරත්
කරවටත්
යටකරත්
ආත්මය
පුද නොදෙන
ගරිල්ලෝ
---------------------------------------
ජුදාස් නුඹනොව
හිට්ලර් නුඹත් නොව
වරද වනු දැක දැක
අඩවන්ව දෑස්
මුව කොණ
සිනහ රඳවමින්
ස්වයං වින්ඳනයේ
යෙදුනු අපය
පව්කාරයෝ
--------------------------------------
ගංජා ගැසු සමාජයක
ආතල් කඩන්න
ගල් ගැසූ පවට
ආර්පීජී ආමෝරා
T56 උණ්ඩ වැළ
ගෙළවට ඔතා
ජනතාපරමාධිපත්‍යය
සොයයි
ගල් ගැසූ උන්
නසන්නට
ඇනගසන්නට
ඇල්බීසියා කුරුසය මත
හරියටම ගාලු මුවදොර මැද සිටුවා

මරියා බලාසීටී
ගලධාරී හෝටලය පාමුළ
වියපත් දෑසින්
යළිත් ඇණ ගසන පුතු දෙස
---------------------------------
අදත් මම නිහඩයි
හිත කෑගසයි
උදෑසනම
අසෝක වීදුරු
මේසය මතට
කෝ ඊයෙ කොහෙද
තැබුවේ අළුබදුන
සීතලම සීතල ටොනික්
පැහැදිළි සුපැහැදිළි ජීන්
ආදරයේ රැගුමට සැරසෙයි
උදෑසනම
සිසිල් සැම දෙයක
අවසන විඳවුමක් බව
පසක් කර මගේ හිතට
සීතල ජින් බිදෙන් බිද
රෑටා යයි මුවගින් පහළට
කෑගසන හදවත
පුච්චා නිහඩ කර
---------------------------------
රැඩිකල් කබා ඇදි
නෝන මහත්වරු
රාත්‍රිය එළබෙත්ම
කබා ගලවා තබා පසෙක
පිජාම - හවුස්කොට් ඇද
සියෙස්ටා මෙට්ට
සොයායි නිදියන්න
------------------------------
උපාධි සහතික
අල්ලා විසිකරපන් පැත්තකට
මළපොතේ අකුරක් වත්
ඕනේ නෑ මේකට
දත්ටික විරිත්තා
දෑත බැද
සාදු කියන්න කැමති
ඕන කෙනෙකුට
තියෙනවා
ඇබැර්තු
ආයතන 330 ක

කවුද කියන්නෙ මේ ලක් දිවයිනට
විරැකියාවත් ප්‍රශ්ණයක් වග
----------------------------------------
කුඩාම කුඩා
වොලට් එකක් සමඟ
හිනැහෙන
මිනිසෙක් මම
---------------------------------------
- ජීවිත -

විනිවිද පෙනෙන
වීදුරුවක් පතුළක
ජින් - ටොනික් අතර
බුබුළු නංවමින් දියවී යන
අයිස් කැටයක්

දකුණත දෑගිළි අතර
දැවී අලුවී යන
සිගරැට්ටුවක්

දහස් ගණන්
දනන් මැද
තට්ට තනි වූ
මිනිසෙක්
-------------------------------
දූපත් ජීවිතේ
සියලු වේදනා නසන්න
සුවහසක් දනන්ට
ක්ෂණික සහනය
"පොලිඩොල්"
--------------------------------
පෙරළමු මුල සිට
හෝඩි පොත නැවත
පිටු කියක් නම්
මග ඇරුනද අපට
-------------------------------
කල්පයක්
මම
බලා ඉන්නම්
නිම නොකළ
කවිය ලියන්න
මතක් වූ දිනක
ඔබේ
කවි පදය එවන්න
---------------------------------
ඊවා
ඉල ඇටය ඇතුළෙම උන්නනම්
උඹ තවමත් මාගේම සරීර කොටසක්
කිසිදා වෙන් කළ නොහැකි කොටසක්
දැන් උඹ
ආලෝක වර්ෂ ගණනක් ඇත
මම
හැඟීම් දැනීම් නැති දූපතක තනිවම
------------------------------------
දන්නවා ඔය
හිත ගල් කරගෙන
ඉන්න බව
ඒත්
සිනිඳු මල් පෙති වලට
කළු ගල් වෙන්න බෑ
පෙරම් පිරුවත්
කල්පයක් පුරාවට
-----------------------------------
සමනල්ලු
ගිහින්
පතොක්
උයනක ට්‍රිප් එකක්
----------------------------------
හඳයෝ
මම ඔෆිස් එකේදි
සයිබරයෙන්
...යූ ටියුබ් සුසර කරගෙන
"අක්ෂරය "
හත්අට වතාවක්
හොරෙන් බලලා
ගෙදර ගිහින්
උන්දෑටත් කියලා
එකතුවෙලා බැන්නා
සදාචාරය කනව කියලා

"විදු" බැලුවා
දෙවතාවක්
ඒකට හිලව් වෙන්න
ගෙදර ඔක්කොම එක්ක

ඔෆිස් ඇවිල්ලා
ලන්ච් ටයිම් එක අල්ලලා
බත්මුල දිග ඇරලා
කට්ටිය වටකරගෙන
ලොකු දේශණාවක්
දුන්නා
"හඳයත් ඉවරයි" කියලා
---------------------------------
සහෝදරයා
අපි කරමු විප්ලවය

සෙනසුරාදා ඉරිදා අතහරලා
කෑම පැයෙන් ඇරලා
තේ වෙලාවත් පහුකරලා
පහහෙන් පස්සේ වලාවක්
තිබුනොත්...
------------------------------
ලියන්නකෝ
ආයෙත්
දිගම දිග ලිපියක්
පුල්ස්කැප් කොළයක් පුරාවට
ඩිජිටල් තීරයේ
කෙටි පණිවුඩ කියවලම
මහන්සියි ඇස්දෙකට
-------------------------------
- සාටක දේශය -

බහිරවයන්
අරක්ගෙන
ඇති ගස්වල
කොළයක් වැටෙන්නෙත්
උන්ගේ අණට

ගහ මුලට
එහෙම වැටෙන
කෙළ ටික
ඒකත් අයිති උන්ට

ගලක් ගසා
අඹයක් බිමට වට්ටා
කන්නට
එක මිනිසෙක්
නැති හැටි පොළව මත
----------------------------------
- මාසේ පඩිය -

මාසයක් පුරා
ඉබි ගමනින්
සාක්කුවට එන
මාසේ පඩිය
පැන යනවා
දවසෙන් දෙකෙන්
අසුරු සැණින්
හාවෙක් විලස
------------------------------------
මල්සරාගේ
T56 තිබ්බ වෙඩිල්ලට
පුපුරලා හද කීතූ කීතු වලට
---------------------------------
අවසන්කරමු මේ
හැංඟිමුත්තම
එන්න ඉදිරියට
සාර්ථක පිරිමි පිටුපස
සිටි ගෑණු ඔක්කොම
--------------------------------
අප්‍රිකාවේ මට වඩා
ලංකාවේ ඔයා
කොපමණ සුදුද
---------------------------------
මොනාලිසා
බැස එන්න එළියට
එපා නොවුවිනිද තවම
එක තැනට වී බලා හිදුම

හීනිපොද වැස්සක
තෙමෙන්න
අයිලය පුරා
ගීයක් කියමින් නටන්නට
තුරුමුදුන් මත තැනු
කැඳලි බලන්නට
මොනාලිසා එන්න
වටපිටට කන්දෙන්න
----------------------------------
රිදෙනවනම් යකඩ වලට
අඩලා අඩලා යටවෙලා
මෙලහට
මුලු ලොවම
කඳුළු දියට
--------------------------------
ලොව අන් සියල්ල
අභිබවා ඈය වේගවත් ය
ඉබි ගමනේ සිටින
මට වඩා ඇය
සිය දහස් ගණනක්
වේගවත්ය
නමුදු මම ඇය ලුහුබඳිම
ඇය අසලම රැදෙමි...
-----------------------------
හාදු වැස්සකට
තෙමිලා
ඈද රෙද්ද
හොඳටම
තෙතබරිත වීලා
--------------------------------
අප්ප,
අද නිදහස
දවසලු
වසන්තම් රේඩියෝවෙන්
දවසම කිව්වලු
-------------------------------
තනිකම
පුච්චන්න
අලුකර
නීල දුමාරයක් විලස
මුදා හරින්න
පාලු හිස් අවකාශයට
පැකට්ටුවේ
ඉතිරිව ඇත්තේ
තව සිගරැට් තුනයි
-------------------------------
මදුරුවෙක් කණ ළඟට වී කුනු කුනු ගා
මා අවදිවු ඇසිල්ලට
හොරකං කරලා
මගේ හීනේ මැද කොටස
තවත් හෝරා දෙකක් තියෙනවා එළිවෙන්න

අහෝ මගේ හීනය
අග මුල ඈති
මැද නැති
විකෘති හීනයක් වී ඈත
-------------------------------------
කකුල් තුනෙන් සිටගත්
කඩුවක් ඉතිරි කකුලෙන් ගත්
සතර කොණ බෝපත්
හක්කෙ බුදු රැස්
බොක්කේ දඩමස්

වීරයා ගෙන කඩුව
බෝ කොල සිටි මුරට
හරිත රඹ තීරු දෙක දෙසට
කඩුව පෙන්නවා නටයි
චණ්ඩි වන්නම

අදයි මහ ජයට වන්නමේ
ඉතුරු කොටස පෙන්න දවස
එන්න කතරගමට
බැරි වුනොත් එන්න බුත්තලට
---------------------------------------
හිත තිරිහන් වෙන්න
ගත්ත දා ඉඳන්
රැවුල
සුදු වෙන්න අරන්
-------------------------------------
- කන්දසාමී අයියේ -

කන්දයියේ
ඔබම
ලියන්න කවිය
පද එකින් එක
ගළප ගළප
ලියන්න රිදුම් දෙන
හිත ගතේ කවිය

ලියන්න දිරිවඩා ලියන්න
රුදුරු ෂෙල් කැබලි
සිදුරු ආවාට තැනු
හදවතේ කවිය

වෙව්ලන දෑස
එයිට නොදෙවනි දෑත
සන්සුන් කර ලියන්න
නොසන්සුන්ව
විලාපදෙන ජීවිතේ තරම

කන්දයියේ උඹ ලියපන් ඔබේ කවිය
තමිල් හෝඩියම අග මුල මැදට ගෙන
අවසන් කළ පසු නුඹ කවිය
මම ලියන්න ඒ කවිය පෙරළා සිංහලට
------------------------------------------
ඔබෙ ගිණි පුළිගු
පනින දෑස් අඟින්
සිගරැට් පත්තු කරනා
රස්තියාදුකාරයෙකි මම
--------------------------------------
රෝස මලක් දැක
ඉල්ලා
ඉකිබින
බඹරෙකි මම

නැත දෙන්නේ
තොපට
රෝස මල මට
උයන්පල්ලා ගිගිරුවා
ලොවටම ඇසෙන්නට

පුදන්නට බුදු පුදට
ගෙන ගොස්
උයන්පල්ලා
මල තනි කොට

තනිවුනු මල අසල
තනිරකිනවා තවම මම
---------------------------------
- ඔබට -
එකම එක අහස් වියනක් යට
ගව්ගණන් දුර
උන්නත් අප දෙදෙන
හුරු පුරුදු සුසුම් සුවඳ
හමයි අප වටකොට

හිටින්නේ කෙලෙස
නොදැනෙන්නේද සුවඳ
ඩිංගක් හිස ඔසවා බලන්න
පෙනේවි ඔබට
දෙදනම ඉන්න වග
එකම අහස්ක යට

ඩිංගක් සවන් යොමන්න
හමන මද නල සමඟ
ඇසේවි ඔබට
ඉකිබිදින හිතක විලාපය

එපා ඔබත් සිටින්න
ගල් කරගෙන සිත
ලොවම ගල්ව ඇති මොහොතක
නොදැනේද ඔබට
ඔබේ දෙපා අසල
ගලන කඳුළු ගඟක
උණුසුම

ඩිංගක් හිතන්න
එකම පෙළක
අවසනයේ
නොවෙද
ඉන්නේ අප දෙදෙනම
-------------------------------------
ජසයා
අදයි උඹේ නිදහස් දවස
ලෙන්චිනා ගිහින්
කාන්තා දිනේට
කොළඹ
---------------------------------------
- BS -
බල්ලෝ සපාකයි
---------------------------------------
- සිංහල බෞද්ධ -

ආනන්ද
උපන් බිම
අහිම කළ
මිනිසුන් පිරිසක්
දුටු වෙහිද

නැත ස්වාමීනි...
-------------------------------------
- ශ්‍රී ලංකා හමුදාව -

ගම රාළගේ
අමුඩ
ලේන්සුව
--------------------------------------
- වම -
අවුරුද්දට
එකම එක වරක්
කොළඹ එන
අපේ ගමේ
රතුපාට
ලංගම බස්එක
-----------------------------------
පිරිත් නූල් බැද
මල් පුදා සුවද
හතර වටින් වටකොට
ෂේල් ගසා මැදට
සුනුවිසුණු වූ ජීවිත
නුදුටුවේද
මේ හතර පෝයට
සිල්ගන්න රට
--------------------------------
අධි ආරක්ෂීත කලාප
දැම්මද කෙතරම්
කූබි පෙළට ඇදෙනවා
හැම කලාප මැද්දෙන්
-------------------------------------
ෂ් ෂ්...ඒවා
මම ආදම්
ටයිකෝට්
ඈදල හිටියට
මම තවම
ඔයාගේ
පරණ ආදම

පුදුමයි
ඒත් ඔයා කිසි වෙනසක් නෑ
ඈත්තමයි එදා උන්නා වගෙමයි

ඉතින්!!!!

දෙයියොනම්
කෝප වූවා තමයි
තමයි
ඒත
නගිමුද
ආයෙත් ගහේ

අර බලන්න අර
උඩම උඩ
අත්ත අගිස්සේ
ආයෙත් රතුම රතු
පීදිලා ඵල

නගිමුද ???
------------------------------------
මේ ළගදි දවසක
ගොම්මන් කරුවලේ
ගුරුපාර දිගේ
මම යන විට
පැටලුණු නිසා
දෙපයේ
බැලුවා හෙමීට
පහත් වී

ආහ්....

ඔයා එදා
මග දමා ගිය
අපේ
මතකය

බැලුවා අත තබා
හෙමීට
දන්නවද
තවමත් හුස්ම
වැටෙනවා
සීරුවට
------------------------------------
ඔව් අත්තමයි
ඉගෙන ගන්නවා
හෝඩියම මුල සිටම
අයනු ආයනු එකක්
වරදන්නේ නැතිව
ආයෙත් ලියන්න
වරදින්නේ නැතිව
මගේ හිතේ පොදිකන
ආදර කවිය
-----------------------------------
ස්ත්‍රීවාදී
චණ්ඩි
සොයනවා
පුරුෂවාදී
කුළුගෙඩි
--------------------------------
නයනා නයනා
මම අමර
මතකද මාව
යමු පරණ සල්මල්
ගස යටට
සයන්න සල්මල්
උගනින්න නොවෙයි
අයන්න ආදරය
මුල සිට උගනින්න
--------------------------------
පාසලේදි
ආදරෙයි කිව්වම
අකමැතිවුණු
ගෑණු ළමයි
අපිව දැක්කම
අහකබලා බලාගන්නව වගේ
දැන් මම on line ආපු ගමන්
එයා Off line වෙනවා
---------------------------------
පවුල කෑම

දෙන්න එක්කම
ආ නිසා සැරසී
හොදහැටි
කන්න පවුල
කාලා කාලා දැන්
ඩිංගිත්තයි ඉතිරිව
-------------------------------
යාථාර්ථය

බුදුන් ඉපදෙන්නේ
කවදද
දේවදත්තලානම්
ඉපදෙනවා
එක පිට එක
-------------------------------
අවුරුද්ද ඔබගෙන් ප්‍රශ්ණ කරයි???

ඉලක්කන්
සෙල්ලම්කොට
අලුත් ඇදුම්මක් ඇද
කෝටියක්
අහස් වෙඩිත්
පත්තුකොට
ඇයි ආයෙත්
ගෙනාවේ
පරණ කුණු හිත
----------------------------------
ආනන්ද
හැරෙන්නට
ඔබ
සර්පයා
දුටුවෙහිද

...නැත
ස්වාමීනි

ආනන්ද
සර්පයා දුටු බව
කිව් නිසා
මම සොයන්නට
නොගියෙමි
--------------------------------

MOODS

දැල
වියලා වියලා
කෙල
හිදිලා
----------------------------------
හරි දැන්
නවත්වමු
ලෝකය හිටිතැනම

යටින් තද
තට්ටුවක් දමා
කඩන්න ජින් බෝතලය

ටොනික් අයිස් දෙහි පෙත්තක්
ඇති හොදටම

චියස් චියස් චියස්
අපේ ලෝකයට වැඩා වැඩේ වේගයෙන් කැරකී
අපට කලන්තේ හදන
මේ ලෝකය නවත්වන්න
------------------------------------------
පාටක් නැති
ජින්
පාටක් නැති
ටොනික්
ජීවිතය පාට කරන
අපූරුව
----------------------------------------
ලොකොත්තර සුව
එකින් එක කැඩෙන

දුම් මඩල

ලෞකික සුවය
දෑගිලට දැනෙනා

සිගරැට් බටය

නිවී අලුවී
යන
අනියත සත්‍ය

අතර
අතරමං වූ

මම
-----------------------------------
මතකද
මැයි 18
සමූල ඝාතනය කළ
අපගේම සොයුරු කැළ

මතකද කෑ කිරිබත
දිරවාගත නොහැකිද
තවමත දගලන අයුරු
බදා උදරය

මතකද උතුරට
හැරවූ මල්ටි වෙඩි

පේනවද
ඒ හැරවූ වෙඩි
හැරවූ කළ
දකුණට

සිහින එකින් එක
කුඩු පට්ටම් වී
යන අපූරුව
------------------------------------
පන්සල්
දන්සැල් පිරිලා
කොඩිවැල්
නෙලුම් මල්
පිරිලා
ගුණ ගී බුදු ගී
දස අත රැව්දී ලා
ඒ කෝ බං
මිනිස්සු
------------------------------------
*** ශ්‍රී ලංකා පොලිස් ***


පුතේ වනහං ගිහිං
මේ රෙද්ද
මං එන්න විගහට

මොනවද බොල ඔය උරේ?

"අම්මගේ රෙද්ද"

මොකක් බොල
දාගනින් මේ පරයා
ඇතුළට
-----------------------------------
පරණ පොත් ගොන්නක්
අවුස්සාගෙන යන විට
හමුවුනා හති වැටුණු
අකුරු හතරක් "ආ ද ර ය "

එහාට මෙහාට ඇදවෙලා
නැමිලා කැරකිලා
හදන්න බැරි තරමට

වැහුවා පොත
තැබුවා තිබූ තැනම
-------------------------------------
*** රතු හැට්ටකාරී ***

අයියෝ
ආච්චිද නිදා ඉන්නේ
කෝ වෘර්කයා
නෑනේ
------------------------------------
*** ලංකාව බුදුන්ගේ දේශයයි ***

ආනන්ද

ස්වාමීනි

ගෙන්න විනය පිටකය
ලියන්න මෙය

"මට පිරිනිවන් නොපා
ජීවිතය ගෙනියන්න
කාගෙවත් ආරාධන අනවැසිය"

තදට පැහැදිලි අකුරින්
හොඳට පෙන්න
ලියන්න ලොකුවට
------------------------------------------
ගල් බෝරේරේරේරේ

ඈතටම වී හිඳින්න
පාෂාණිභූත
පර්වත ජීවිතය
පුපුරවා විසිරී
දසත විසිවන විට
වදින්නට හැකිය
පාෂාණ කැබැල්ලක්
පපු කුහර පලාගෙන යන්න
-----------------------------------------
නොදිරන හීනයක්
පතලා
කොන්ක්‍රීට්
ජීවිතයක් ලැබිලා
---------------------------------------
සිගරැට් දෙකකට
ජින් සීයකට
බෝල කඩල පැකට් එකකට
තියෙනවා මහා බලයක්

පිරිමින්ගේ කදුළු
පන්නන්න එළියට
---------------------------------------
මමයි - ඇයයි - ඇගේ ප්‍රේමයයි

සද තරු නිහඩයි හැමරෑක
සුසුම පොදිගනන්
ගලන මේ පාලු රෑ ගාව
ඇයත් නොමැති
ඇගෙ පෙමත් නොමැතී

ගව් ගන්න දුර ගාව
හිත තබා මම ආව
තවමත් දැක්කා
නොදක්කා වගේ
ඇයයි
ඇගේ පෙමයි
මියෙදෙන්න වෙරදරන මගේ හිතයි

පෙම් සුළි නගන සිතගාව
මහ රැළි නැගේ නෙත ගාව
දරන්නට නෙත් කෙමිය ඉඩ මදි වූ දාක
පුපුරවා ගුගුරවා
ගලායයි උණු කදුළු ගංගාව
 ------------------------------------------
එත රතු කමිසයක් නෑ
එක කඩේක
බෙහෙතකට
අද

එක රත්තෙක් නෑ
හොයාගන්න
අනිද්දට
------------------------------------------
මෙවර මැයි දිනය

මාගේ මේ
ව්‍යයාමය
හුදෙක් මාගේ
රජ සැප පිණිස නොව
පවුලේ ද හිත
සුව පිණිසයි
----------------------------------------
රාහුල සැපට නිදයි
යසෝදරා ඉකිබිදී

අහෝ මගේ හීනය
සුද්දෝධන දත්මිටි කයි
ඒ අතට මේ අතට
අර මාලිගයෙන් මේකට
එකෙන් මේකට
බර අඩි තබමින්
මූණ පුළුටුකර
ඇවිදියි

ඡන්න
උකතතෝකෝටියක පැටලෙයි

සිද්ධාර්ථ මැදුරෙන් නික්මෙයි
--------------------------------------
*** යථාර්ථය ***

මියැදෙනන්න
මොහොතකය
පෙර හරි
හිරුට පිටුපා සිටගන්න
දැක ගන්න
තම තමන්ගේ
සෙවනැල්ල
---------------------------------------
ලෝකෙන් ලොකුම
කරුමය
මගියෙකු වී
ඉපදුනු එක
දූපත් රාජ්‍ය තුළ
--------------------------------------
*** කටුකන ජීවිත***

ඩොක්ටර්
කටු ගහන්න ඉඩක් නෑ
ඇඟ පුරාව කටු

කෑවේ කටු විතරයි
ජීවිතේ පුරාම

ගහන්න ඕනෙම නම්
කටුව ගහන්න
මේ ගැහෙන හදවතට
හැබැයි බලන්න හොඳට
ඒකෙත් සිදුරු ඇති එමට
-----------------------------------
*** ගංජා ගැසූ සමාජයේ තනිවීම ***


තණමල්විලෙන් මල් මිටක්
විගහට එවහං මල්ලියේ

මම හරි අමුයි
යාලුවො එක්ක
ඉන්න කොට
දාගෙන කඩේ

වචනත් ගලයි
ගලයි වක්කඩ කැඩුවාවගේ
මගේ කටේ
මුං කියනවා අමු කැවිවලු
මට හොදටම
මේ සංදියේ

දවසම
මල් මිට උරන්න
කැමෙදි
බස් එකෙදි
අහසට වී ඉන්න
මේ අමු ලෝකයෙන්
ඩිංලක් මිදෙන්න
දෙයියො දුන්න අමෘතය
98 බස් එකෙන්
කොළඹට එවන්න
------------------------------
*** ජීවිතය***
***මම
කථා කරන්නේ
මගේ අනෙක් පස
පීල්ලට

මේ ඇහුණද
මොකද්ද මේ ජීවිතය

හැමදාම තැලෙන
මර හඩදිදී අප මත දුවන
කොච්චි පෙට්ටියක්
පන්නමුද පීල්ලක්

ඒ මොකටද

අපිට පුළුවන්නේ
මොහොතකට
උණුසුම්ව වෙලෙන්න
-----------------------------------
*** ආදරෙයි ***

ඔබ
ගඟක්

දියරැලි නගන
සන්තොසින් ගලන ගඟක්
නවතනු නොනොහැකි ගඟක්

මම
එගං මැද ගල් කුලක්

නිමෙෂයෙන් නිමේෂයට
අලුත්ව
නෑසුනාමෙන්
ගලායන ගංදියට
ආදරෙයි කියා මුමුණන
හුදකලා ගල්කුලක්
--------------------------------------
පියඹා යන්න අවැසි විට
පි්‍යඹා යන්න අත්තටු නොමැති කළයි
දැණුනේ
කුරුල්ළන් නොවන වග අපි

නිල්ම නිල් අහස් කුස
සැරිසරන සියොත් කැල
ඔච්චම්කරයි අපට
පියඹායන්න බැරි බව දැන දැනම

ඉදින් අපි බලා ඉමු
අහස් අනන්තයම දෙස
කොතනක් හෝ අප දකීවි
අහස් තුස සැරිසරන සියොතුන් නොදකින
පායා එන ෂඩ් වර්ණ දේදුන්න

ඉදින් අප බලා ඉමු
--------------------------------------
මීනෙන් මේෂට මාරු වී හෝ
අනෙකා පෙළන
රුදුරු සිත
මිලින වී
ආදරෙන් පිරේනම්
සිත් සතන්

නැකතට කිරිබත නැතිවට කම්නැත
පිරිසිදු සිත් තුළ අනෙකට ඉඩ ඇත
----------------------------------------
මීවිතෙන්
අදත් මා පොගයි
ඇත දිදුළන තාරුකා
ඇත සිට අත වනයි
උනුත් අහන්නෙ
උඹ ගැනමයි
මට දෙන්න
උත්තර නැති හැඩයි
මීවිතෙන් තවත
තවත් මා පොගයි
--------------------------------------
"මම ආදරෙයි"
ඔන්න මම ලිව්වා
කවියේ
අවසන් පදය

ලියන්න
ඔබ ඉතිරි පද තුන
හැබැයි ටිකක් වෙනස්
පහළ සිට ඉහළට පුරවන්න
මම ලියූ කව
-------------------------------------
- ඔබ යන්න ගිහින් -

උදාවන හිරු රැසින්
පිබිද වූ මල් මිටක්
සවස්යම අවුදින්
මතුරන අඳුරින්
හෙළා ඇත
දරාසිටි ගසම පාමුළ
මල් කිනිත්තම දසත විහිදුවා
නිරුවත් පොළව මත
නොදුටු සේ උදෑසන විචිත්‍රය
-------------------------------------
පිටුගණන් පුරා
ඔබට ලියමින් උන්නු ලිපිය
නවතා දැමුවා මම
පොඩි සුදු කොල කැබැල්ලක
හරි මැදට වන්නට
ලිව්වා මට ලියන්න තිබූ සැමදේම
අකුරු හතරකට කැටිකොට

ආ ද රෙ යි
------------------------------------
මැදියම් සීත
රැය පුරාම
හීනෙන් හීනෙට පනිමින්
සැරිසැරූ සුරංඟනාවියෝ
මෙන්න බැහැලා බිමට
ඒත කෝ
මගේ හීනය
-----------------------------------
වක ගැසී තිබූ
ජීවන රේඛාව
සරල රේඛාවක්
වු දා පටන්
ඔබ එක කෙලවරක
මම තව කෙලවරක
----------------------------------
හිතේ උන්නු බුදුන්
එළියට වඩින්
නරක් වූ සිත් තුළ
තවත් වසනු බැරි නිසා

කැලෑවත් අහිමී
හදවතත් අහිමි

උන්නාන්සේ පැළ
කොටයක් අටව ගෙන
බෝ පැළයක් වවාගෙන
හන්දියක් හන්දියක් ගානේ

බලා ඉන්නවා අසරණය
දූපත් වැසියන්ගේ
කවර් වෙන ඇරියස් දෙස
---------------------------------------
- ආදරය -

ගුඩ් මෝර්නින්
කෑවද
බිව්වද
කියටද යන්නේ
ආවද
ගුඩ් නයිට්
------------------------------------
 

හඩගා කියන් නිදහසේ කවිය













නිල් අහස තවමත් අයිති නුඹලාට
තටු පොරවන් කූජිතව උන්නාට
පියඹා වරක්
විඳලා බලන්
අමතකව කුටුම්බයේ සිරකල
නිදහසේ සුවය

ඇසිල්ලක් ඇසිල්ලක් පාස
සවනේ රැව්දෙන අධර්මයේ
ප්‍රස්ථි ගී පරයා නැගෙන
මොහොතක නැගෙන කාහල නාදය
සුවය කෙතරම් සොඳුරද

පියඹා බලන් එක්වරක්
හඬගා බලන් එක්වරක්

අහසේ ඉහළට නැග
පෙන්වපන්
නිදහසේ සුවය
කූජිතව නිදන දනට

හඩගා කියන් නිදහසේ කවිය
පරයා අධර්මයේ හඬ

පැටවුන්ට කියන්
අසිරිය
උනුන්ට දියන් උනුන්ගේ අයිතිය
නිදහස් ලොව සොය තටු ගසන්නට
රිසි ලෙස සැරි සරන්නට

හඩගා කියන් නිදහසේ කවිය
පරයා අධර්මයේ හඬ

මූනිස්සම කථා කරයි















සිහින එකින් එක පුපුරවා
ඇට මිදුළු අතරින්
උණුසුම් රුධිරයේ නැහැවෙමින්
තැවරි තැවරී
ඉස් මස් නහර පලා යන්න
මොකටද රාළහාමී නියෝග
නේද??

කොකාට දඹරගිල්ල
මූනිස්සට පළමු මස් වැදල්ල
හරි ෂෝක්
නේද රාළහාමි
සෙල්ලම ???

ස්ව්‍යංකීය කියන්නේ
Automatic නේද
රාළහාමි
කුමට නියෝගද
ඉබේම කුඩකර හැරෙයි ඉහමොළ
නේද රාළහාමි


ආයේ ෂුවර්මයි
අත්දුටුවයි
කැපයි
රාළහිමි
නියෝග ඕනේ නෑ
තරු පටි ගැලවෙන්නෙත් නෑ
නිදහසේ ඉහමොළ කුඩු කරන්න
ප්‍රර්ථනා කරන්න
ඊළග ආත්මයේ
T56 මූනිස්සමක් වෙන්න

ෂා.... මරු නේද රාළහිමි

රත් මල් යායය බිමට පාත් කොට

 
වැට පැන්න හරක් ගාලක්
මගේ මිදුලේ හැම තැනම

උන් මගේ පීදෙන්න
ඔන්න මෙන්න තිබූණු
රත් කෙසෙල් ගසද බිම දමා
පතුරු ගසා සී සීකඩ

රතු පසින් උරාගෙන සාරය
මිදුල මැද සැරසූ
රත් මල් පොකුරු පිරි
රත් මල් යායය බිමට පාත් කොට
උන් එඋඩ ලැග ගෙන

පිඹිනවා රවනවා
අනින්න පනිනවා
මගේ මිදුලේ මැදම සිට
උන් මටම

හරක් හිමි බලබතා
බලනවා
බලනවා
බලනවා
හරක් දෙස
ගණිනවා ගණිනවා
රැළ හරිද දැන ගන්න

වැට පැන්න හරක් ගාල
තවම මගේ මිදුල මැද