Thursday, June 16, 2011

MOODS

හිරු රැසින්
දිලෙන සඳක්
හිරු අමතකව
සඳට ලියන කවක්
-------------------------------
සෙනෙහසින් මත්ව
බෝගස කෙරවල අත්තක
පෙමවතිය සමඟ
හොටෙන් හොට තවරමින් උන්
කාක්කෙක්
වැස්සට තුරල්වන තුරු
බෝගස යට
උන් මගේ
එකම සුදු කමිසය මතට
දමා වසුරු පිඩක්
ඉඟිලයයි කිසිත් නොවූ විලස
ආදර වැස්සේ තෙමෙන්න
------------------------------------
තංගමනි
පොට්ටුව නළල් තගේ දිළිසුනාට
දැලි දුවිළි සළුවක් ගත දැවටුනාට
නුඹත් යසෝධරාවකි මට
සමාවෙයින්
අභිනිශ්ක්‍රමනයටයි මේ මොහොත

සිහිනෙන් හිනැහෙන
පුංචි පුතට
කියාදියන්
අප්පා ගිය බව
රැක ගන්න පුංචි පුතුගේ බිංකඩ

තව මොහොතක්වත්
පමා විය නොහැක මට
යා යුතුමය මේ ඉරණම් ගමන
සිද්ධාර්ථත් ගියා
අලුත් ලෝකයක් හොයන්න

පුංචි පුතුට කියාදෙන්න
අප්පා කුලී හේවායෙක් නොවන වග
ඉදින් අවසරයි යන්න
ජීවිතය සොයන් සටනට
----------------------------------
අදත් පාළුයි
ගංතෙර
බංකු පෙළ
පමණි
තනියට
------------------------------
අන්ධ පෙම්වතා
-----------------------------

ළාහිරු උණුසුමත්
සිහිල් මද නළ ගෙනන සිසිලත්
අතර තිබෙනා වෙනසත්
වටහා ගන්නම්
ඔබගේ ළයට තුරුළුව
මොහොතක්

රැය තරම්ම කට්ට කළුවර දවාලක
පාට පාට හීන මවන හිත
නොපෙනෙන අනන්තයට දිවයයි
සොයා වර්ණ තැවරුණු හීනයක්

ජීවිතේ දිග පළල
සුසුම් පොදි බිදෙන
ඉමෙන් මැනගන්න
හීනයේ දිග පළල
කාලවර්ණයෙන් කියවන්න
ඔය හිත විඳගන්න
ළංව එක හුස්මක් ගන්න
තව මොහොතක්
ඔබ ඔහොමම ඉන්න
------------------------------------
පරණ පෙම්වතී ලියමනක් එවා ඇත අද

ඔබ හොදින්ද
තවමත් බීර බෝතලේ ආදරය අමෘතද
තවමත් ජීවිතය නිශාචරද
දැන්වත් කීයක් හෝ ඉතිරි කරළද

ඇය ලියා ඇත අග මෙලෙස

ඔබ ලියන කවි කියවා
මා ප්‍රිය සැමියා
කෝප වී දොස් තියනවා
ඔබ තවම ආදරය කරනවාලු මට
අනේ හැකිනම් නවත්තන්න
කට ගෙන්නක් බීගෙන ඔය ලියන ලියවිල්ල

පිළිතුර අද තැපැල් කළා මම

සුදු කොලයක් දමා
ලියුම් කවරයක
එදා වාගෙම අදත්
පිළිතුර ඇයට කැමති ලෙස
ලියා ගැනුමට
--------------------------------------------
විසල් කොන්ක්‍රීට්
පුරයේ කොණක
පුරයේ නිර්මිතයන්
කල් ගෙවූ
ටකරන් ගැසූ
මඩ ගැසුනු
ඉටි රෙද්ද පාමුල
අදුරු ඇබිති
ගුලක වෙසෙන
කළු කූබියෙක් මී මම

පිට්සා සුවඳ හමනවා
පුරය දසත
කටට කෙළ ඉනුවත්
පාන් කැබිලිත්තක් නෑ
මෙනුවර
කිසි තැනක

රෑළේම
බඩ ඇලුනත් පිටට
පෙළට කෑමක්
සොයන් යනු බෑ
කැමරා නෙත් යොමා
සිටිනවා දසත

හන්දියක් හන්දියක් පාසා
වතුරෙනුත්
මල් පිපෙනා
මෙපුර
කළුම කළු
කූඹියෙක් මි මම
දිව ගිලෙන්න පිපාසිත
----------------------------------------
නැවතුමේ අවසන්
වංගුවට
මෙහාදි
ඔබ හදිසියේ බහින්නට පොදිකමින්
මගේ අතේ රැදවූ
කොළ කැබැල්ල
තවම මං ළඟ

දවසට දෙවතාවක්වත්
සිබින ඒ කොළ කැබැල්ල
මට වැඩක්ම වැඩක නැති
ඒ කොළ කැබැල්ල
කලුවරම කළුවරේ
අත ගගා අත ගගා
කිවවන්න වෙරදරන
ඒ කොළ කැබැල්ල
-------------------------------------
එකමත් එක රටක
එකමත් එක දිනක
එකමත් එක කාලයක හිඳ
කථා ගොඩයි
එකමත් එක ගැන

ඉතිහාසය එකමත් එක තැනක
මුළු රටම එකමත් එක තැනක
බඩගින්නත් එකමත් එක තැනක
ජීවිතයත් තවම එක තැනක

පැරෂුට් බැලුම් ජීවිතය පුරා
ඔලමොල වදන් ආත්මය සිසාරා
එකමත් එක රටකි අප මේ ඉන්නා
---------------------------------------
මහ වන අඩවියේ
ආත්මය අත දරන්
විමුක්තිය සොයනවා
ගරිල්ලෝ

සතර අත
වටකරත්
කරවටත්
යටකරත්
ආත්මය
පුද නොදෙන
ගරිල්ලෝ
---------------------------------------
ජුදාස් නුඹනොව
හිට්ලර් නුඹත් නොව
වරද වනු දැක දැක
අඩවන්ව දෑස්
මුව කොණ
සිනහ රඳවමින්
ස්වයං වින්ඳනයේ
යෙදුනු අපය
පව්කාරයෝ
--------------------------------------
ගංජා ගැසු සමාජයක
ආතල් කඩන්න
ගල් ගැසූ පවට
ආර්පීජී ආමෝරා
T56 උණ්ඩ වැළ
ගෙළවට ඔතා
ජනතාපරමාධිපත්‍යය
සොයයි
ගල් ගැසූ උන්
නසන්නට
ඇනගසන්නට
ඇල්බීසියා කුරුසය මත
හරියටම ගාලු මුවදොර මැද සිටුවා

මරියා බලාසීටී
ගලධාරී හෝටලය පාමුළ
වියපත් දෑසින්
යළිත් ඇණ ගසන පුතු දෙස
---------------------------------
අදත් මම නිහඩයි
හිත කෑගසයි
උදෑසනම
අසෝක වීදුරු
මේසය මතට
කෝ ඊයෙ කොහෙද
තැබුවේ අළුබදුන
සීතලම සීතල ටොනික්
පැහැදිළි සුපැහැදිළි ජීන්
ආදරයේ රැගුමට සැරසෙයි
උදෑසනම
සිසිල් සැම දෙයක
අවසන විඳවුමක් බව
පසක් කර මගේ හිතට
සීතල ජින් බිදෙන් බිද
රෑටා යයි මුවගින් පහළට
කෑගසන හදවත
පුච්චා නිහඩ කර
---------------------------------
රැඩිකල් කබා ඇදි
නෝන මහත්වරු
රාත්‍රිය එළබෙත්ම
කබා ගලවා තබා පසෙක
පිජාම - හවුස්කොට් ඇද
සියෙස්ටා මෙට්ට
සොයායි නිදියන්න
------------------------------
උපාධි සහතික
අල්ලා විසිකරපන් පැත්තකට
මළපොතේ අකුරක් වත්
ඕනේ නෑ මේකට
දත්ටික විරිත්තා
දෑත බැද
සාදු කියන්න කැමති
ඕන කෙනෙකුට
තියෙනවා
ඇබැර්තු
ආයතන 330 ක

කවුද කියන්නෙ මේ ලක් දිවයිනට
විරැකියාවත් ප්‍රශ්ණයක් වග
----------------------------------------
කුඩාම කුඩා
වොලට් එකක් සමඟ
හිනැහෙන
මිනිසෙක් මම
---------------------------------------
- ජීවිත -

විනිවිද පෙනෙන
වීදුරුවක් පතුළක
ජින් - ටොනික් අතර
බුබුළු නංවමින් දියවී යන
අයිස් කැටයක්

දකුණත දෑගිළි අතර
දැවී අලුවී යන
සිගරැට්ටුවක්

දහස් ගණන්
දනන් මැද
තට්ට තනි වූ
මිනිසෙක්
-------------------------------
දූපත් ජීවිතේ
සියලු වේදනා නසන්න
සුවහසක් දනන්ට
ක්ෂණික සහනය
"පොලිඩොල්"
--------------------------------
පෙරළමු මුල සිට
හෝඩි පොත නැවත
පිටු කියක් නම්
මග ඇරුනද අපට
-------------------------------
කල්පයක්
මම
බලා ඉන්නම්
නිම නොකළ
කවිය ලියන්න
මතක් වූ දිනක
ඔබේ
කවි පදය එවන්න
---------------------------------
ඊවා
ඉල ඇටය ඇතුළෙම උන්නනම්
උඹ තවමත් මාගේම සරීර කොටසක්
කිසිදා වෙන් කළ නොහැකි කොටසක්
දැන් උඹ
ආලෝක වර්ෂ ගණනක් ඇත
මම
හැඟීම් දැනීම් නැති දූපතක තනිවම
------------------------------------
දන්නවා ඔය
හිත ගල් කරගෙන
ඉන්න බව
ඒත්
සිනිඳු මල් පෙති වලට
කළු ගල් වෙන්න බෑ
පෙරම් පිරුවත්
කල්පයක් පුරාවට
-----------------------------------
සමනල්ලු
ගිහින්
පතොක්
උයනක ට්‍රිප් එකක්
----------------------------------
හඳයෝ
මම ඔෆිස් එකේදි
සයිබරයෙන්
...යූ ටියුබ් සුසර කරගෙන
"අක්ෂරය "
හත්අට වතාවක්
හොරෙන් බලලා
ගෙදර ගිහින්
උන්දෑටත් කියලා
එකතුවෙලා බැන්නා
සදාචාරය කනව කියලා

"විදු" බැලුවා
දෙවතාවක්
ඒකට හිලව් වෙන්න
ගෙදර ඔක්කොම එක්ක

ඔෆිස් ඇවිල්ලා
ලන්ච් ටයිම් එක අල්ලලා
බත්මුල දිග ඇරලා
කට්ටිය වටකරගෙන
ලොකු දේශණාවක්
දුන්නා
"හඳයත් ඉවරයි" කියලා
---------------------------------
සහෝදරයා
අපි කරමු විප්ලවය

සෙනසුරාදා ඉරිදා අතහරලා
කෑම පැයෙන් ඇරලා
තේ වෙලාවත් පහුකරලා
පහහෙන් පස්සේ වලාවක්
තිබුනොත්...
------------------------------
ලියන්නකෝ
ආයෙත්
දිගම දිග ලිපියක්
පුල්ස්කැප් කොළයක් පුරාවට
ඩිජිටල් තීරයේ
කෙටි පණිවුඩ කියවලම
මහන්සියි ඇස්දෙකට
-------------------------------
- සාටක දේශය -

බහිරවයන්
අරක්ගෙන
ඇති ගස්වල
කොළයක් වැටෙන්නෙත්
උන්ගේ අණට

ගහ මුලට
එහෙම වැටෙන
කෙළ ටික
ඒකත් අයිති උන්ට

ගලක් ගසා
අඹයක් බිමට වට්ටා
කන්නට
එක මිනිසෙක්
නැති හැටි පොළව මත
----------------------------------
- මාසේ පඩිය -

මාසයක් පුරා
ඉබි ගමනින්
සාක්කුවට එන
මාසේ පඩිය
පැන යනවා
දවසෙන් දෙකෙන්
අසුරු සැණින්
හාවෙක් විලස
------------------------------------
මල්සරාගේ
T56 තිබ්බ වෙඩිල්ලට
පුපුරලා හද කීතූ කීතු වලට
---------------------------------
අවසන්කරමු මේ
හැංඟිමුත්තම
එන්න ඉදිරියට
සාර්ථක පිරිමි පිටුපස
සිටි ගෑණු ඔක්කොම
--------------------------------
අප්‍රිකාවේ මට වඩා
ලංකාවේ ඔයා
කොපමණ සුදුද
---------------------------------
මොනාලිසා
බැස එන්න එළියට
එපා නොවුවිනිද තවම
එක තැනට වී බලා හිදුම

හීනිපොද වැස්සක
තෙමෙන්න
අයිලය පුරා
ගීයක් කියමින් නටන්නට
තුරුමුදුන් මත තැනු
කැඳලි බලන්නට
මොනාලිසා එන්න
වටපිටට කන්දෙන්න
----------------------------------
රිදෙනවනම් යකඩ වලට
අඩලා අඩලා යටවෙලා
මෙලහට
මුලු ලොවම
කඳුළු දියට
--------------------------------
ලොව අන් සියල්ල
අභිබවා ඈය වේගවත් ය
ඉබි ගමනේ සිටින
මට වඩා ඇය
සිය දහස් ගණනක්
වේගවත්ය
නමුදු මම ඇය ලුහුබඳිම
ඇය අසලම රැදෙමි...
-----------------------------
හාදු වැස්සකට
තෙමිලා
ඈද රෙද්ද
හොඳටම
තෙතබරිත වීලා
--------------------------------
අප්ප,
අද නිදහස
දවසලු
වසන්තම් රේඩියෝවෙන්
දවසම කිව්වලු
-------------------------------
තනිකම
පුච්චන්න
අලුකර
නීල දුමාරයක් විලස
මුදා හරින්න
පාලු හිස් අවකාශයට
පැකට්ටුවේ
ඉතිරිව ඇත්තේ
තව සිගරැට් තුනයි
-------------------------------
මදුරුවෙක් කණ ළඟට වී කුනු කුනු ගා
මා අවදිවු ඇසිල්ලට
හොරකං කරලා
මගේ හීනේ මැද කොටස
තවත් හෝරා දෙකක් තියෙනවා එළිවෙන්න

අහෝ මගේ හීනය
අග මුල ඈති
මැද නැති
විකෘති හීනයක් වී ඈත
-------------------------------------
කකුල් තුනෙන් සිටගත්
කඩුවක් ඉතිරි කකුලෙන් ගත්
සතර කොණ බෝපත්
හක්කෙ බුදු රැස්
බොක්කේ දඩමස්

වීරයා ගෙන කඩුව
බෝ කොල සිටි මුරට
හරිත රඹ තීරු දෙක දෙසට
කඩුව පෙන්නවා නටයි
චණ්ඩි වන්නම

අදයි මහ ජයට වන්නමේ
ඉතුරු කොටස පෙන්න දවස
එන්න කතරගමට
බැරි වුනොත් එන්න බුත්තලට
---------------------------------------
හිත තිරිහන් වෙන්න
ගත්ත දා ඉඳන්
රැවුල
සුදු වෙන්න අරන්
-------------------------------------
- කන්දසාමී අයියේ -

කන්දයියේ
ඔබම
ලියන්න කවිය
පද එකින් එක
ගළප ගළප
ලියන්න රිදුම් දෙන
හිත ගතේ කවිය

ලියන්න දිරිවඩා ලියන්න
රුදුරු ෂෙල් කැබලි
සිදුරු ආවාට තැනු
හදවතේ කවිය

වෙව්ලන දෑස
එයිට නොදෙවනි දෑත
සන්සුන් කර ලියන්න
නොසන්සුන්ව
විලාපදෙන ජීවිතේ තරම

කන්දයියේ උඹ ලියපන් ඔබේ කවිය
තමිල් හෝඩියම අග මුල මැදට ගෙන
අවසන් කළ පසු නුඹ කවිය
මම ලියන්න ඒ කවිය පෙරළා සිංහලට
------------------------------------------
ඔබෙ ගිණි පුළිගු
පනින දෑස් අඟින්
සිගරැට් පත්තු කරනා
රස්තියාදුකාරයෙකි මම
--------------------------------------
රෝස මලක් දැක
ඉල්ලා
ඉකිබින
බඹරෙකි මම

නැත දෙන්නේ
තොපට
රෝස මල මට
උයන්පල්ලා ගිගිරුවා
ලොවටම ඇසෙන්නට

පුදන්නට බුදු පුදට
ගෙන ගොස්
උයන්පල්ලා
මල තනි කොට

තනිවුනු මල අසල
තනිරකිනවා තවම මම
---------------------------------
- ඔබට -
එකම එක අහස් වියනක් යට
ගව්ගණන් දුර
උන්නත් අප දෙදෙන
හුරු පුරුදු සුසුම් සුවඳ
හමයි අප වටකොට

හිටින්නේ කෙලෙස
නොදැනෙන්නේද සුවඳ
ඩිංගක් හිස ඔසවා බලන්න
පෙනේවි ඔබට
දෙදනම ඉන්න වග
එකම අහස්ක යට

ඩිංගක් සවන් යොමන්න
හමන මද නල සමඟ
ඇසේවි ඔබට
ඉකිබිදින හිතක විලාපය

එපා ඔබත් සිටින්න
ගල් කරගෙන සිත
ලොවම ගල්ව ඇති මොහොතක
නොදැනේද ඔබට
ඔබේ දෙපා අසල
ගලන කඳුළු ගඟක
උණුසුම

ඩිංගක් හිතන්න
එකම පෙළක
අවසනයේ
නොවෙද
ඉන්නේ අප දෙදෙනම
-------------------------------------
ජසයා
අදයි උඹේ නිදහස් දවස
ලෙන්චිනා ගිහින්
කාන්තා දිනේට
කොළඹ
---------------------------------------
- BS -
බල්ලෝ සපාකයි
---------------------------------------
- සිංහල බෞද්ධ -

ආනන්ද
උපන් බිම
අහිම කළ
මිනිසුන් පිරිසක්
දුටු වෙහිද

නැත ස්වාමීනි...
-------------------------------------
- ශ්‍රී ලංකා හමුදාව -

ගම රාළගේ
අමුඩ
ලේන්සුව
--------------------------------------
- වම -
අවුරුද්දට
එකම එක වරක්
කොළඹ එන
අපේ ගමේ
රතුපාට
ලංගම බස්එක
-----------------------------------
පිරිත් නූල් බැද
මල් පුදා සුවද
හතර වටින් වටකොට
ෂේල් ගසා මැදට
සුනුවිසුණු වූ ජීවිත
නුදුටුවේද
මේ හතර පෝයට
සිල්ගන්න රට
--------------------------------
අධි ආරක්ෂීත කලාප
දැම්මද කෙතරම්
කූබි පෙළට ඇදෙනවා
හැම කලාප මැද්දෙන්
-------------------------------------
ෂ් ෂ්...ඒවා
මම ආදම්
ටයිකෝට්
ඈදල හිටියට
මම තවම
ඔයාගේ
පරණ ආදම

පුදුමයි
ඒත් ඔයා කිසි වෙනසක් නෑ
ඈත්තමයි එදා උන්නා වගෙමයි

ඉතින්!!!!

දෙයියොනම්
කෝප වූවා තමයි
තමයි
ඒත
නගිමුද
ආයෙත් ගහේ

අර බලන්න අර
උඩම උඩ
අත්ත අගිස්සේ
ආයෙත් රතුම රතු
පීදිලා ඵල

නගිමුද ???
------------------------------------
මේ ළගදි දවසක
ගොම්මන් කරුවලේ
ගුරුපාර දිගේ
මම යන විට
පැටලුණු නිසා
දෙපයේ
බැලුවා හෙමීට
පහත් වී

ආහ්....

ඔයා එදා
මග දමා ගිය
අපේ
මතකය

බැලුවා අත තබා
හෙමීට
දන්නවද
තවමත් හුස්ම
වැටෙනවා
සීරුවට
------------------------------------
ඔව් අත්තමයි
ඉගෙන ගන්නවා
හෝඩියම මුල සිටම
අයනු ආයනු එකක්
වරදන්නේ නැතිව
ආයෙත් ලියන්න
වරදින්නේ නැතිව
මගේ හිතේ පොදිකන
ආදර කවිය
-----------------------------------
ස්ත්‍රීවාදී
චණ්ඩි
සොයනවා
පුරුෂවාදී
කුළුගෙඩි
--------------------------------
නයනා නයනා
මම අමර
මතකද මාව
යමු පරණ සල්මල්
ගස යටට
සයන්න සල්මල්
උගනින්න නොවෙයි
අයන්න ආදරය
මුල සිට උගනින්න
--------------------------------
පාසලේදි
ආදරෙයි කිව්වම
අකමැතිවුණු
ගෑණු ළමයි
අපිව දැක්කම
අහකබලා බලාගන්නව වගේ
දැන් මම on line ආපු ගමන්
එයා Off line වෙනවා
---------------------------------
පවුල කෑම

දෙන්න එක්කම
ආ නිසා සැරසී
හොදහැටි
කන්න පවුල
කාලා කාලා දැන්
ඩිංගිත්තයි ඉතිරිව
-------------------------------
යාථාර්ථය

බුදුන් ඉපදෙන්නේ
කවදද
දේවදත්තලානම්
ඉපදෙනවා
එක පිට එක
-------------------------------
අවුරුද්ද ඔබගෙන් ප්‍රශ්ණ කරයි???

ඉලක්කන්
සෙල්ලම්කොට
අලුත් ඇදුම්මක් ඇද
කෝටියක්
අහස් වෙඩිත්
පත්තුකොට
ඇයි ආයෙත්
ගෙනාවේ
පරණ කුණු හිත
----------------------------------
ආනන්ද
හැරෙන්නට
ඔබ
සර්පයා
දුටුවෙහිද

...නැත
ස්වාමීනි

ආනන්ද
සර්පයා දුටු බව
කිව් නිසා
මම සොයන්නට
නොගියෙමි
--------------------------------

No comments:

Post a Comment