Monday, February 13, 2017

ඔබ හිදී නොසෙල්වී

දැනෙන විට පවා
හදවතට
අල්ගෝවේ කන්ද
තරම් මහ බරක්
ඔබ උන්න
නොසෙල්මන්ව
මගේ දෑතත්
තවත් උණුසුමින්
ගුළිකරන්

නිම්නයේ අවසන්ම
විදුලි බුබුලත්
නිදබරව ඈනුම් අරිනතුරැම
දකුණු නිම්නයේ කදුඅතරින්
හමා එන සීතල
සුලගටම මුහුණත්ව
රැයවල්ම කීයක්ම
ගෙවුනිද
කතා දහ  දාහකටත් වඩා
මේ බැල්කණිය උඩම

අතරින් පතර කථාවල
වේගය උස්ව පහත්ව මෙහොතවල
ඔබ කීවා
තරහ ගන්නේ නැතිව
කථාකරමු
මුනිවර සමාධියෙන්.

සංසංර බෑදීමේ
අන්තරායි කොටසක පවා
ආදරය තැවරෑ
ඒ ප්‍රේමාලිංගන අතර
බොහීමියානු සංචාරයක
මගේ හිතට
මුනිවර සමාධිය කැටුව හා ඔබ
අනන්තයි
ඔබ නොසෙල්වෙයි.

Thursday, September 15, 2016

ආදරය අහිමි යුගයක ඉපදීමේ කරුමය හෙවත පණපිටින් වැළලීම

අප උපදින්නේ 
පරපුරක් 
ටයරු සෑමතම 
දැවී අලුවී යන සමයකය

පයතබා දනි පනි 
ගහන සමය එළබන්නේ 
පය තිබෙන උන්ටත්
ඇවිද යනු නොහැකි යුගයක


අකුරු එකිනෙක අමුණා
බහතෝරන වයස පැමිණෙ​න්නේ
වචනයක් තේරීම 
මාරාන්තික වන සමයක

ආදරයය දලුලන 
නව යොවනු විය පැමිණෙන්නේ 
ආදරයේ අකුරුත් විකීණී
හන්දිගානේ රස්තියාදු වන යුගයක

ඉන්පසුව එළැබෙන සමය
එළබෙන්නේ 
අපේ උන් තවත් දහස් ගණනක් 
වලපල්ලට යවා 
සිටන උන් ගල් ගැසුනු පසුවය 

එතැන් සිට එළබෙන යුගය

විහාර මහා දේවියේ
පෙම්වතුන් නැත
සෑම බංකුවක් මත
කපුටු වසුරු පමණක්මය
ඒත් 
ඒ අවට
සිකුරිටිලා ඇත


කොළඹ කැම්පස් 
අයිනේ මග දිගට
තාප්ප වැට කඩොලු නැත
බැරියර් මුරකාවල්ද නැත
ඒත් 
ඒ හැමතැනක
සීසීටී කැමරා ඇත

බොරුල්ල හන්දියේ 
ග්‍රීන් පාත් වටරවුමේ 
පබ්ලික් ලයිබ්‍රරියේ
ටොරින්ටන් චතුරශ්‍රයේ 
මහ සෙනගත් ඇත 
ඉර අවරට යන හැම හවස
ඒත් 
ඒ කිසිතැනක 
අපේ උන්නැත

දැන් මේනුවර
පෙට්ටිකඩ නැත
පාර ළග හිද 
යාර තේඑක
දෙකට කඩා බිව් 
ඇත්තටම ඒ ආදරේ නැත

මේ හුදකලාවටත්, ඔබටත් මම ආදරෙයි


Popular Landscaping for Engrossing How To Create Fine Art Landscape Photography and landscape photography as art
ගෙවී ගිය එක් වස්සානයක අග දිනක
මම ඇයට සම්මුඛව සිටගතිමි
ඇගේ දෑස් දිලිසෙමින් තිබුණි
හුදකලා නිම්නයේ කෙහේ​ෙදා සිට හමා ආ
සිහින් සුලං රැල්ලක මුසුව
අනවසරවෙන්ම ඇගේ නළලතට පැමිණි
සිහින් වැහි බිදුවක්
හිමින් සීරුවෙ රෑටා යමින්
ඇගේ ඇහි පිහාටු අතර මදක්
ගිමන් හරින්නා සේ රැදී
අතුරුදහන් විය
මම ඒ නිල්වන් දෑස් ගැඹුරේ
කිමිදෙන්නට උත්සහ කෙළෙමි
ඇය නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
අපගේ දෙවන හමුවීම නිමා වූයේ එළෙසය.

කාල නිච්චිය කොපමනදැයි නොදැනුනත්
දිනක් හදිසියේම
එ් නිල්වන් දෑස්
මා අභිමුව විය
මම මගේ හෘද සන්තානය
ඇයට නිරාවරණය කරන්නට තීරණය කර
ඇ​ෙග් දැස් ගැඹුරේ කිමිදෙන්නට උත්සහ ​කළෙමි
ඒ දෑස් එදා මෙන්ම
නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
මම කිසිත් නොකීමි


අපගේ අවසාන හමුවෙන් පසුව
ආලෝක වර්ෂ කීයක් ගතවී ඇත්දැයි
නොදනිමි.
හදිසියේ හිදහිටක තවමත්
පාලු රාත්‍රියක දෑස් මස්ථකයට පර්දාර වන
ඒ දෑස් පෙර​ ලෙස
නිසලවම ස්ථීර ලෙස උන්නාය
ලැවෙන්දරා සුවදක් රැගෙන
නිම්නයේ හුදකලාව අතරන් ආ
සිහින් සුලං රැල්ලක් 
ඒ ඇස් යළිත් මා ඉදිරියට සම්මුඛ කරවීය.

" මේ හුදකලාවටත්, ඔබටත් මම ආදරෙයි " 

ඒ අදුරු "ජූලියට" ආදරය විතරක් ඕනෑකර තිබේ




නගරයේ තාප්ප කැඩී ඇත. 
සයිකල් පාත්ද වැටී ඇත. ​
පෙට්ට් කඩහැලී අැත.
සීසීටීවී කැමරාද ඇත.
හැමතැනම කැමෆ්ලාජ්ද අැත.
කහ ඉරි , ට්‍රැෆික් ලයිට්  තිතට ඇත.
විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත.
ඒ විතරක් නොවෙයි
ඉන්ඩිපෙන්ටන්ට් ආකේඩ්ද ඇත.

ඒ සියල්ලටම වඩා
මේ නුවර මහා හිස්කමක් අැත.

එනුවර තවමත් අස්සක් මුල්ලක් නෑමර
ලේ පිළී ගදය.
දශක ගණනක් තිස්සේ
කෙදිරිලන සහෝදර ප්‍රාණයන්ගේ
අවසන් හුස්මලන හඩ
ඒනුවරට ඉහළ ආකාශයේ සැසරමින්
යුක්තිය පසිදලනු තුරු දෑස් දල්වා සිටී.
ඉතිහාසය ඒ මහා ගනදුර තවමත්
මේ නුවරින් පහව ගොස් නැත.
තවමත් තැන් තැන්වල පිසාචයන්ගේ
කන් පසාරැ කරනා
සහෝදර හදවත් දෙපළු කරනා
හඩවල් එමට ඇත.

ඇත්තටම
එනුවර "අනතුර"
තවම පහව ගොස් නැත.

ඒනුවරට ආදරය විතරක් ඕනෑ කර තිබේ.

ඇත්තටම ආදරයට පමණකි.
කොළඹට, අපට , ලංකාවට , ලෝකයට
විතරක් නොවෙයි ඒ අදුරු "ජූලියට"
ආදරය  විතරක්  ඕනෑකර තිබේ.
නිර්මාල් ඒකනායක
( මේ ග්‍රෑෆක් තථාවේ ඇත්තේ ඒ ආදරයේ හිස්කමයි)

යසෝදරා දැන් ඉතින් සමාවෙලා




යසෝදරා 
දැන් ඉතින් සමාවෙලා 
සදලු තලයෙන් බැස 
එන්න මා එක්ක
රයින් ගං වෙරලේ 
හිරැ බැසයන
නිහඩ කාක නිල් පැහැති
සැදෑවක තනිවෙන්න

මෙතුවක් කල්
දරා සිටි හෘද පීඩන
දුම් ගැසුනු මන්දිරයටම දමා තනිකර එන්න
ඔයා කැමතිම
ලා කහ පාට දුහුලු
බෝරිච්චි කොට ගවුමෙන් සැරසී එන්න

අත් වැල් පටලා
නොගිය මං මාවත් වන අයාලේ ඇවිදින්න යන්න
ජීවිතයට හැම වේලේම
තේරැම් හොයන්නම ඕනේ නෑ
යාසෝදරා

ගැලපීම් නොගැලපීම් ගැන
ජීවිත අරැත් පිළිබද
තේරැම් බේරැම් කරගන්න
කාලයට ඉඩ දෙමු
අහිමු වූ ප්‍රේමාංගනයෙන්
ආතුර වෙමු.
ආදරයට කැමති ලෙස
අයාලේ වැඩෙන්නට
ඩිංගිත්තක් ඉඩදෙමු.

සර්ව රාත්‍රික ප්‍රේමාංගන අතර
සිරැරැ මත සිරැර සැතපෙන්න ඉඩහරිමු යසෝදරා
ජීවිතයේ යටි පෙළ අරැත
පහදන්නට ජීවිතයටම ඉඩදෙමු.

Wednesday, November 4, 2015

සීත සෘතුවට පෙර



















මේ බැමි ලිහිල්කර දමා
ප්‍රේමයේ හිස් පෙදෙස මත
දිගාවිය යුුතුය අප
තවත් කලා නොයවාම
සම සමව බෙදාගන්නට

මේ එ්කපාර්ශික ප්‍රේමය
බොහෝ කල් ගෙවී ඈත
බොහෝ දුර ගෙවා ඈත
තවත් කලා නොයවාම

ඔබ අද අදම පැමිණිය යුතුය ඈත
රම් සහ විස්කි මත
ජින් සහ රතු වයින් මත
සුරැට්ටු සහ සූස්ති අතර
රැදවූ ඒකපාර්ශික ප්‍රේමාංගන
සම සමව බෙදාගැනීමට කාලය පැමිණ ඈත

තවත් එක් වසන්තයක නිමාවේ අග
ඒකපාර්ශික ප්‍රේමය
ද්විපාර්ශික හෘද සහ සරීර ස්පන්දයේ උණුසුමින්
ප්‍රේමයේ හිස් පෙදෙස මත දිගාවී
එ් ප්‍රේමය සම සමව බෙදාගන්න
ප්‍රේමිය ඔබ සහ මම
දින දැන්ම වෙන්කර ගත යුතුය
සීත සෘතුවට පෙර

Wednesday, May 13, 2015

සමදරා දැන් නගිටලා එන්න













සමදාර
දැන් සියවසක් ගෙවිලා
අලුත් මල් පිපිලා
අලුත් සුවදක් දෙතෙල් මත තවරන්න
දැන් ඉතින් එන්න නැගිටලා

මහා සුළි කුණාටු අතර
ඔබ උන්නා නිහඩව නිසල
සමදරා දැන් ඇති
සිහින අතර හිනැහුනා
අලුතේ ජීවිතේ පටන්ගන්න
මකුලු දැල් වලින් සුසැදි සයනයෙන් නැගිට
සහස්කල් නිද්‍රාවෙන් අවදිව එන්න

හද කුහර තුල නැගුණු
ආදරයේ උණුසුම්ම හැගුම්
තලෙලු සුදු සිරැරැ මත තෙරපන්න
කාලය හරිය
මොහොතක පමාවකට ඉඩ ෙනාතබා
දැන් ඉතින්  අවදි වන්න

රෝස පැහැ දෙතොල්
සිනාවෙන් මුවාවෙන කොපුල් මත
අලුත් හුස්මක පාට තබන්නට
සියවස් නිද්‍රාවට තිත තබා
සමදරා දැන් ඉතින්  තටුගසා
පියඹලා එන්න
අලුත් අහස්කුස තුළ ගැබ්බර වන්න

Wednesday, December 12, 2012

ඇති දෙයක් නෑ වගේ පෙනෙයි. ඒත් ඒ මගේ හිත



















හිස බිමට නමාගෙන
සංසාර කන්ද නැගෙන
හැමදාම හවසට
ආවාම ගුහාවට
හඳ වුනත් ඉන්නේ ඔරෝගෙන


ගෙවීයන හැම නිමේෂය
කන් අගුළු වට්ටන තරම්
තරම් නිහඩය
ගලපන අකුරු වුනත් කවියට
කථාවක් නැතිවටම
එක පෙළට ළගින් හිටගෙන


මහ විසල් කොන්ක්‍රීට් වෘක්ෂයන් අතර
සෙවනැලි අහිමි වූ මිනිසුන්ය
අතරමග හැමතැනදි හමුවන
මොහොතක් උස්සා හිස
මං වාගෙම යළිත් බිමටම නවාගෙන
හාහූවක් නැතිව යන එන

මතක සැමරුම්
ටිකෙන් ටික අලුපාට වන
ඔබත් එකක් ගතකල
අවසන්  සන්ධ්‍යාව
පමණි තවමත්
පාට තැවරුණු එකම මතකය

Thursday, October 4, 2012

පැරණි ​පෙම් හසුනක් සමග තනිවීම හෙවත් සුසානයේ සන්ධ්‍යාවක්












මේ තරම් දිගු සැදෑවක්
අපට හමු වී
නැති බව
සත්තයි

අකාලික ප්‍රේමයට
කාලයකට පෙර දැමූ
පිච්ච මල් සුවද පුයරේ
සුවද හැර ගිහින් තිබුණා

වස්සානයේ සිහින
වැළලී ගිය තැන්වල
සොහොන් කොත්
අකුරු අතරින්
උස්ව පෙනුනා

ඔබ ආසම කරන
ගාර්ඩනියා මලක
වියලී අවපැහැව  ගිය
 පෙත්තක්
ඒ අසල රැඳී තිබුණා

, ආදරය
මේ වගේ
මෙන්න මේ
හැන්දෑව වගේ...
කොමාවක් අසල
තිත් පේළියක් දමා
ඔබ ලියා තිබුණා

ඒත්
මේ තරම්
දිග නොවූ
ඒ සන්ධ්‍යාව

ප.ලි

 ඔබ මෙසේ ලියා තිබුණා
 "හැමදාම ආදරෙයි "

සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගුද ?

Saturday, September 22, 2012

සඟයිනි, ඔබට ඇසේ ද ?













උතුරේ ද
දකුණේද තලා
දමන විට
අපේ පන්තියේ පිපිමල්

නටුවටවත් නොනියා
අකාලිකව සමුගත්ත
ඒ සුවහසක් මල්වලට
එල්ලකරන විට
මල්ටිබරල්
ආටි උණ්ඩ
කවියනි ඔබ කොහිද
ඔබේ අවි කොහිද?

අදුරු යුගයේ
කළු කුහරයේ
සැඟව යන විට
චන්දරේ
මරණයේ සහතිකය
උපන් භූමියෙන් ලියාන
භාෂණ
උදය
වෙඩ්ඩා
අජිත් සී ඇතුළු
තවත් අපේ පන්තියේ
බෙහෝ උන්ට උන්ට
පිටුවහල් වන්න වූ විට
ඔබේ අවි
කොස් කොටන්නද?

මුල්ලි​​​වෛයිකාල් රතු වැලි පොළව අතරේ
මස් අස්සේ මස් ලෙස සැගවු
අපේ පන්තියේ උන්
ඇන්ට​නිද
රොෂේන්ද
නිමලරුබන්ද
ඩෙල්රුක්ෂාන්ද
තවත් දස දහස් ගණනක
අපේ සටන් සගයින්ද
කීතු කීතු කරන විට
කවියන ඔබ කොහිද?
පන්තියේ උන් වෙනුවෙන් නැති
අවි කුමට ?

ඉතිරිවුනු අපේ උන්ට
ගොම ද
කළු තෙල් ද ගසන විට
තවත් උන්ට
බැටන්
විලංගු
කඳුළු උණ්ඩ ද
එවනවිට
තවත් කවි කුමට
වෙව්ලන අත්වලට
පෑනටත් වඩා බර අවියක් අවැසි විටෙක

කවියනි ඔබ කොහෙද
ඔබේ අවි කොහෙදෙ?

අවියත් අරගෙන වමතට
වම් අතට
එන්න කාලය එළඹ ඇත වීදියට

Friday, August 31, 2012

හදවතට හැකිය පුපුරන්න















අහසට හැකිය ගුගුරන්න
සයුරට හැකිය වැලපෙන්න
හදකට හැකි ද පුපුරන්න
ඔව්
හදකට හැකිය පුපුරන්න

දරු පෙමක් අභියසක
සඳ වුනත් පොඩි තිතක්මය
තාත්තෙක් අභියසක
පුතෙක් හරි විශාලය

තාත්තෙක් වීම
පළමු උණුසුම් හැඟුම
මුල්ම පය තැබුම
ලොවම ජයගත් මොහොත

පැතුම් පොදි බොහොම
පැයට හැතැක්ම වේගයෙන් වැදින
නිසොල්මන් වූ සිහින
සේලයින් බිදුවටම එක්වුන

විශ්වයම එකමිටට
අල්ලා දිය හැකිය පුතුට
තාත්තෙක්ගේ හදකට හැකිය
පුතෙක් වෙනුවෙන් පුපුරන්න
ඒත්
තාත්තෙක්ට බැරිය
පුතුගේ දෙන ඔසවන්න

පැය දෙකක පමාවකි
පුතු ගිය ලොවට යන්න
හදවත පලාගිමි
පුතු සමඟ අවසන් ගමන් යන්න

Friday, August 24, 2012

රතු කොඩි සහ කහ සිවුරු

අපේ උන්ම දහසක් දෙනා
මහමඟ ටයර් උදුරේ පිළිස්සූ
දවා අළු කළ
කාකි කැමාවට
නිල් මානෙල් පැලැන්දූ
රතු කොඩි
සහෝදරවරු

පිරිත් පැන් ඉස
ගමින් ගම පිරිත් නූලෙන්
T-56 ය කොකාට ඇමිණූ
කහ සිවුරු
බුදුවරු


Sunday, July 22, 2012

ඔව් රත්නේ, හොඳම දේ දරුවන්ට

 













(රත්න ශ්‍රී විජේසිංහ කවියක් ලියා ඇත ජනරළට පුවත්පතට 'හොඳම දේ දරුවන්ට' )

හොඳම දේ දරුවන්ටමයි රත්නේ
ඒ ගැන කිසි පහරක් නැත්​තේ
කැකුළු මල් කළු බඹරු තළන අරුමේ
මේ දැන්දෝ දුටුවේ ගාලු කොටුවේ රත්නේ

ශිව ලිංගමද තවම හීනෙන් පෙන්නේ
සෙවල පෙරනා කෙසර ලිංඟ නැතිවද දකින්නේ
කොනේෂ්වරීගේ හඩ කවදද රත්නෙට ඇසෙන්නේ
ඒහෙව් ර​ටක කොහොමද රත්නේ
හොඳම දේ දරුවනට දෙන්නේ

පිරිත් පැන් වඩන විට සඟුන්
රත්නේ ලිව්වා මතකද
ආයුරඛ්කන්ත ආවඩන්
ඒ මහා පිරිත් පැන් බලෙන්
රත්නෙගේ ආයුෂත් අරන්
රණවිරු පෑ බලෙන්
උතුරේ මල් මිලිනවුනිද මොන තරම්

උතුරේ රැඟු බඹරු දැන්
දකුණේ රත්නේ
දකුණේ මල් තලන විට
ඇහැරෙයි රත්නෙගේ කවි වරුණේ

කල්වාරියේ කන්ඳ මුදුනටම එන්න රත්නේ හැකිනං
යෝබ බල පැතූ මහා රණවිරු සෙනගත් අරං
වෙඩ්ඩා තැනූ ලිඟු මාලය අතදරං
පළදන්න මම ඉන්නවා කන්ඳ මුදුනේ මඟ බලං

Saturday, July 7, 2012

කාලය කෙතරම් සොඳුරුද..මිහිරියේ














අපි ආයේ මේ පාරේ
හමුවන්නේ කොහොමද
අපි අපිට ගසාගත්
වචන ගල්
පය පැටලිලා
ඇද වැටෙයි අපිම
දෙනෝදාහක් මැද

ආදරය ඉරාගෙන ටක්කෙටම දෙකට
බෙදාගෙන යමු දෙපසට
හදාගත් හීන
බෙදාගෙන වෙන වෙනම
ඉරාගමු හරි මැදින්
පොටෝ එක
ගොල්පෙස් පිට්ටනියේ මැද
කිටිකිටියේ බදාගෙන උන්න

තර්ක විතර්ක කලු ​කෝටයට
දෙන්න ඔබේ සුරත
උදුරා දමන්න
ඔය මංගල මුදුව

හදාගත් හීනය
බෙදාගෙන
බදාගෙන උන්නු
කාලයක නිමාවිය
හදවතේ හීල්ලුම් දාරගෙන
තන තනිම 
යමු දෙමග
අතීතයේ නටඹුන් බලාගෙන






Thursday, July 5, 2012

කවියක් නොවේ බං මේ











බැටන් පහර එක පිට එක වැද
ඇසල සඳ මොර දෙයි
ලේ පැල්ලම් විසිරි ඇත
ඒ විසල් අහස මත
ලේ පිළී ඟඳ පමණි
හමන්නේ දසත

ගව්ගනන් දුරවුනත් සඳට
පෙම් කවි ලියන්නෙත් ඒසඳට
සඳකට විරිතට අකුරු ගලපන උන්ට
දෙමළනම් සඳ වුනත් දුර වැඩී ඒ  මිනිසුන්ට

කවියක් නොවේ බං මේ
හූල්ලන  ඉකියක්ය සිරවුණ
කවිකම වුනත් මොකට
අකුරුවලිනුත් ලේ ගලන කලෙක

හිස්ම හිස්
සුදු කඩදාසි මත
වැතිර සිටින
හිස්ම හිස්
හැගීමකි

ඉකිගසන
ලේ ගලන
අවසන් සුසුම යදින අදින

කවියක් නොවේ බං මේ
හූල්ලන ඉකියක්ය  සිරවුණ


Photo Credit - JDS 

Tuesday, June 26, 2012

'නිදහස' මොන බිජ්ජක්ද ඕක













ඔබලාට කිව යුතු වන්නේ “ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“ යන්නය 
උදය ආර්. තෙන්නකෝන්

සම්මා සම්බුදු මහතුනි
සියලු දෑ සිදුව ඇත
වෙනස් කළ නොහැකි ලෙස
ඔබ සහ අපි යැයි

ඉද්ද ගැසූ ඉරකින් වෙන්කොට
ඉතිහාසය පුරාවට

යලි නොවෙනස් ලෙස

අච්චු තැබූ දා සිට
අම්මගේ පදයෙන් වැඩ අල්ලා
පරයා
ජඩයා
වේසිගේ බල්ලා
දේශද්‍රෝහියා
තවම අවසන් නොමත
නොනැවත් ගලන
නෙක නෙක 
ඔබ පිනවන වදන්

සම්මා සම්බුදු මහතුනේ
නුඹලා ශ්‍රද්ධවන්තයෝම
වන්නාහ

අල්තාරයේ
කුරුසියේවත් ගසන්නට
අප කවුද?

ද්‍රෝහීන්ය...

දමා ගසන්න ඒ සියලු ගල්
පව්කාර සිරුරු
කීතූ කීතු වී යන තුරුම
ඔබලාගේ ශ්‍රද්ධ වූ හදවත්
සුවෙන් සැනහෙන තුරුම

සම්මා සම්බුදු මහතුනේ
එපා ඔබේ ශ්‍රද්ධ වූ
උගුරු දඬු
ලේ රහ කර ගන්න
"දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස"

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

“ සියලුම දෙනා සෑම ආකාරයේ දඬුවම් හා වන්දි ගෙවා අවසානය“

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

දැන් ඔබ යළිත් දමාගසන්න
ශ්‍රද්ධ වූ මහතුනේ 

සනසා සතපා ගන්න
ඔබේ ශ්‍රද්ධ වූ සිත

එළියට  පැමිණි  දා සිට
අම්මගේ පදයෙන් වැඩ අල්ලා
පරයා
ජඩයා
වේසිගේ බල්ලා
දේශද්‍රෝහියා
තවම අවසන් නොමත
නොනැවත් ගලන
නෙක නෙක 
ඔබ පිනවන වදන්

'නිදහස' මොන බිජ්ජක්ද  ඕක

Tuesday, June 5, 2012

අවසන් දි ඇය නික්ම ගියා ය.




















සංසාරේ පුරුද්දට
වස්සානේ ඇවිද්දුව
හන්තානේ පාමුලදි
ඇසට ඇස ඇමිණුව

අවසන් ඉඟිය ඇස් මතින් දී
අවසන් කවියක පදපේලී අතර සැගවී
අවසන් සුසුම ළයට පොදි  බැඳ දී
අවසන දී ඈ ගියා ය...

මන්දාරම් අහස් කුස අසල
නින්නාද දෙන විහඟුන් පවා ගල්ව
එකම එක් ඇසිල්ලක් නොසෙල්වී උන්හ
ගලහ පරෙන් ඇය බොදව යන තුරුම

මැයි මාසයේ මුලදි ගැබ්බරව
මල් වැසි වලින් දෝවනව
මැයි මාසේ අගදි බිමහෙලුව
කහපාට මල්වැස්ම මත
සලකුණුව තිබුණි
ඇය නික්ම ගිය වග

සිහිල් සුළගක් පැමිණ
මල් පාවඩය රැගෙන
ගියේ යන්නටම
ඇගේ අවසන් සළකුණුද රැගෙන

රිදුමක සළකුණුය හදවතේ
ඉකියක් සිරව ඇත ළය මතේ
කඳුළක් පුපුරවා ඇස් කොනේ
අවසන දි ඇය නික්ම ගියා ය

Wednesday, May 2, 2012

චාපා...මම සැටිය උඩ... හිනා බං මට... දුකට






















නාලිකාව - දෙරණ
වේදිකාව - රියලිට වේදිකාවකි
ගායකයා - චාපා (ඉන්ද‍්‍රචාපා ලියනගේ) ඇතුළු පිරිස
විනිසුරු මඩුල්ල - චාමික සිරිමාන්න, රජීව් සෙබෙස්තියන්, රාජු බණ්ඩාර, අතුල අධිකාරි
නිවේදක - සාරංග

චාපා
උඹ කිව්වා
ක්ලැරන්ස්ව ටිකක් වැඩියෙන් පොප් කරලා
ටියුන් එක වෙනස් කරලා
කට්ටිය කර උඩ නටනවා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

සාරංග ඇහුවා
චාමිකගෙන්
චාපා මොකද්ද කලේ කියලා
කට්ටිය කර ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට

චාමික කිව්වා
අපි
චාපගෙන්ම අහමු කියලා
මොකද්ද කලේ කියලා
කට්ටිය තවම කර ඇරගෙන
මම සැටිය උඩ හිනා බං මට... දුකට

චාපා
උඹ විස්තර කලා
අරුන් කට ඇරගෙන
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාමික කිව්වා
අපි ඒක දැනගෙනයි
චාපගෙන් අහගත්තේ කියලා
මම සැටිය උඩ... හිනා බං මට... දුකට
මම දැක්කා උඹව දියවෙලා වැක්කෙරෙනවා

චාපා
උඹ සිල් අරං වගේ
ෂෝක් පෙනුම උඹේ දැන් ටීවි එකට
අපේ අම්මා දක්කනම් දැං කියයි
අර බලපං අර ළමයගේ හැටියි
උඹේ හැටියි

දැං උඹ මගෙන් අහයි
හරි උඹ මට කන්න දෙනවද කියලා
මම මොන මගුලක් හරි කරලා
සල්ලි හෙයන්න ඕනේ කියලා
හඳයත් වතාවක් ඕක කිව්වා
මගේ නිශ්පාදකයො ලොස්ට් කරන්න බෑ කියලා

මේ උත්තරය උඹට මගෙන්
අවධාරණය මගෙන්

අපරාදේ බං චාපා
ගහන්න තිබුණේ උඹට
අජිත් මුතුකුමාරණ වගේ
සීඞී එකපිට එක
සල්ලි බං සල්ලි
පිස්සු හැදෙනවා

මම සැටිය උඩ... හිනා බං මට... දුකට

මම දකිනවා උඹව දැං

රියල් ෂෝ එක ඇතුළේ
මම රියල් චාපව දකිනවා දැං
මම සැටිය උඩ... හිනා බං මට...

පරණ පෙම්වතී ලියමනක් එවා ඇත අද























ඔබ හොදින්ද
තවමත් බීර බෝතලේ ආදරය අමෘතද
තවමත් ජීවිතය නිශාචරද
දැන්වත් කීයක් හෝ ඉතිරි කරළද

ඇය ලියා ඇත අග මෙලෙස

ඔබ ලියන කවි කියවා
මා ප්‍රිය සැමියා
කෝප වී දොස් තියනවා
ඔබ තවම ආදරය කරනවාලු මට
අනේ හැකිනම් නවත්තන්න
කට ගෙන්නක් බීගෙන ඔය ලියන ලියවිල්ල

පිළිතුර අද තැපැල් කළා මම

සුදු කොලයක් දමා
ලියුම් කවරයක
එදා වාගෙම අදත්
පිළිතුර ඇයට කැමති ලෙස
ලියා ගැනුමට

Monday, April 30, 2012

"තාරකී "

 

තාරුකා තවත් නෑ 
පෙරඹරට තාරකී
ගී කියන මාලුවොත් 

ගොලු වෙලා තාරකී
මහා හඳකින් පැන් තුඩගින් 

මිනිස්කම සෙව් තාරකී
ගිගුම්දෙනු ඇත මහා හිස්කම 

තවත් බොහෝ කල්  තාරකී

උතුරු සළුවම ලෙයින් පෙගුනා
පළමු සිල්පද කඩා දැමුවා
කෙසර නිරුවත සැමට පෙන්වා
කෙසර සලකුණු අවට තිබුණා

එදා ඒ අඳුරු මූසල රැය තවම අඳුරු
නිහඩ කෙරුවට නුඹේ කටහඩ සොඳුරු
සබඳ සකිසඳ නුඹේ සටන් කරනා අකුරු
අදත් අවැසිය සවිය ගෙනෙනට මිතුරු


ධර්මරත්නම් සිවරාම් හෙවත් "තාරකී" 2005 වර්ෂයේ අප්‍රේල 28 වැනි දින බම්බලපිටිය පොලීසිය ඉදිරිපිටදී සුදු වෑන් කල්ලියක් විසින් පැහැර ගන්නා අතර 29 වැනිදා තාරකීගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් හමුවිය. ජනමාධ්‍යවේදියෙකු වූ තාරකී දමිළ සමාජයේ නූතන චින්තකයෙක් වන අතර අතිදක්ෂ යුධ විෂ්ලේෂකයෙක් විය.