Thursday, October 4, 2012
පැරණි පෙම් හසුනක් සමග තනිවීම හෙවත් සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගු සැදෑවක්
අපට හමු වී
නැති බව
සත්තයි
අකාලික ප්‍රේමයට
කාලයකට පෙර දැමූ
පිච්ච මල් සුවද පුයරේ
සුවද හැර ගිහින් තිබුණා
වස්සානයේ සිහින
වැළලී ගිය තැන්වල
සොහොන් කොත්
අකුරු අතරින්
උස්ව පෙනුනා
ඔබ ආසම කරන
ගාර්ඩනියා මලක
වියලී අවපැහැව ගිය
පෙත්තක්
ඒ අසල රැඳී තිබුණා
, ආදරය
මේ වගේ
මෙන්න මේ
හැන්දෑව වගේ...
කොමාවක් අසල
තිත් පේළියක් දමා
ඔබ ලියා තිබුණා
ඒත්
මේ තරම්
දිග නොවූ
ඒ සන්ධ්‍යාව
ප.ලි
ඔබ මෙසේ ලියා තිබුණා
"හැමදාම ආදරෙයි "
සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගුද ?
Saturday, September 22, 2012
සඟයිනි, ඔබට ඇසේ ද ?
උතුරේ ද
දකුණේද තලා
දමන විට
අපේ පන්තියේ පිපිමල්
නටුවටවත් නොනියා
අකාලිකව සමුගත්ත
ඒ සුවහසක් මල්වලට
එල්ලකරන විට
මල්ටිබරල්
ආටි උණ්ඩ
කවියනි ඔබ කොහිද
ඔබේ අවි කොහිද?
අදුරු යුගයේ
කළු කුහරයේ
සැඟව යන විට
චන්දරේ
මරණයේ සහතිකය
උපන් භූමියෙන් ලියාන
භාෂණ
උදය
වෙඩ්ඩා
අජිත් සී ඇතුළු
තවත් අපේ පන්තියේ
බෙහෝ උන්ට උන්ට
පිටුවහල් වන්න වූ විට
ඔබේ අවි
කොස් කොටන්නද?
මුල්ලිවෛයිකාල් රතු වැලි පොළව අතරේ
මස් අස්සේ මස් ලෙස සැගවු
අපේ පන්තියේ උන්
ඇන්ටනිද
රොෂේන්ද
නිමලරුබන්ද
ඩෙල්රුක්ෂාන්ද
තවත් දස දහස් ගණනක
අපේ සටන් සගයින්ද
කීතු කීතු කරන විට
කවියන ඔබ කොහිද?
පන්තියේ උන් වෙනුවෙන් නැති
අවි කුමට ?
ඉතිරිවුනු අපේ උන්ට
ගොම ද
කළු තෙල් ද ගසන විට
තවත් උන්ට
බැටන්
විලංගු
කඳුළු උණ්ඩ ද
එවනවිට
තවත් කවි කුමට
වෙව්ලන අත්වලට
පෑනටත් වඩා බර අවියක් අවැසි විටෙක
කවියනි ඔබ කොහෙද
ඔබේ අවි කොහෙදෙ?
අවියත් අරගෙන වමතට
වම් අතට
එන්න කාලය එළඹ ඇත වීදියට
Friday, August 31, 2012
හදවතට හැකිය පුපුරන්න
අහසට හැකිය ගුගුරන්න
සයුරට හැකිය වැලපෙන්න
හදකට හැකි ද පුපුරන්න
ඔව්
හදකට හැකිය පුපුරන්න
දරු පෙමක් අභියසක
සඳ වුනත් පොඩි තිතක්මය
තාත්තෙක් අභියසක
පුතෙක් හරි විශාලය
තාත්තෙක් වීම
පළමු උණුසුම් හැඟුම
මුල්ම පය තැබුම
ලොවම ජයගත් මොහොත
පැතුම් පොදි බොහොම
පැයට හැතැක්ම වේගයෙන් වැදින
නිසොල්මන් වූ සිහින
සේලයින් බිදුවටම එක්වුන
විශ්වයම එකමිටට
අල්ලා දිය හැකිය පුතුට
තාත්තෙක්ගේ හදකට හැකිය
පුතෙක් වෙනුවෙන් පුපුරන්න
ඒත්
තාත්තෙක්ට බැරිය
පුතුගේ දෙන ඔසවන්න
පැය දෙකක පමාවකි
පුතු ගිය ලොවට යන්න
හදවත පලාගිමි
පුතු සමඟ අවසන් ගමන් යන්න
Friday, August 24, 2012
රතු කොඩි සහ කහ සිවුරු
අපේ උන්ම දහසක් දෙනා
මහමඟ ටයර් උදුරේ පිළිස්සූ
දවා අළු කළ
කාකි කැමාවට
නිල් මානෙල් පැලැන්දූ
රතු කොඩි
සහෝදරවරු
පිරිත් පැන් ඉස
ගමින් ගම පිරිත් නූලෙන්
T-56 ය කොකාට ඇමිණූ
කහ සිවුරු
බුදුවරු
මහමඟ ටයර් උදුරේ පිළිස්සූ
දවා අළු කළ
කාකි කැමාවට
නිල් මානෙල් පැලැන්දූ
රතු කොඩි
සහෝදරවරු
පිරිත් පැන් ඉස
ගමින් ගම පිරිත් නූලෙන්
T-56 ය කොකාට ඇමිණූ
කහ සිවුරු
බුදුවරු
Sunday, July 22, 2012
ඔව් රත්නේ, හොඳම දේ දරුවන්ට
(රත්න ශ්‍රී විජේසිංහ කවියක් ලියා ඇත ජනරළට පුවත්පතට 'හොඳම දේ දරුවන්ට' )
හොඳම දේ දරුවන්ටමයි රත්නේ
ඒ ගැන කිසි පහරක් නැත්තේ
කැකුළු මල් කළු බඹරු තළන අරුමේ
මේ දැන්දෝ දුටුවේ ගාලු කොටුවේ රත්නේ
ශිව ලිංගමද තවම හීනෙන් පෙන්නේ
සෙවල පෙරනා කෙසර ලිංඟ නැතිවද දකින්නේ
කොනේෂ්වරීගේ හඩ කවදද රත්නෙට ඇසෙන්නේ
ඒහෙව් රටක කොහොමද රත්නේ
හොඳම දේ දරුවනට දෙන්නේ
පිරිත් පැන් වඩන විට සඟුන්
රත්නේ ලිව්වා මතකද
ආයුරඛ්කන්ත ආවඩන්
ඒ මහා පිරිත් පැන් බලෙන්
රත්නෙගේ ආයුෂත් අරන්
රණවිරු පෑ බලෙන්
උතුරේ මල් මිලිනවුනිද මොන තරම්
උතුරේ රැඟු බඹරු දැන්
දකුණේ රත්නේ
දකුණේ මල් තලන විට
ඇහැරෙයි රත්නෙගේ කවි වරුණේ
කල්වාරියේ කන්ඳ මුදුනටම එන්න රත්නේ හැකිනං
යෝබ බල පැතූ මහා රණවිරු සෙනගත් අරං
වෙඩ්ඩා තැනූ ලිඟු මාලය අතදරං
පළදන්න මම ඉන්නවා කන්ඳ මුදුනේ මඟ බලං
Saturday, July 7, 2012
කාලය කෙතරම් සොඳුරුද..මිහිරියේ
අපි ආයේ මේ පාරේ
හමුවන්නේ කොහොමද
අපි අපිට ගසාගත්
වචන ගල්
පය පැටලිලා
ඇද වැටෙයි අපිම
දෙනෝදාහක් මැද
ආදරය ඉරාගෙන ටක්කෙටම දෙකට
බෙදාගෙන යමු දෙපසට
හදාගත් හීන
බෙදාගෙන වෙන වෙනම
ඉරාගමු හරි මැදින්
පොටෝ එක
ගොල්පෙස් පිට්ටනියේ මැද
කිටිකිටියේ බදාගෙන උන්න
තර්ක විතර්ක කලු කෝටයට
දෙන්න ඔබේ සුරත
උදුරා දමන්න
ඔය මංගල මුදුව
හදාගත් හීනය
බෙදාගෙන
බදාගෙන උන්නු
කාලයක නිමාවිය
හදවතේ හීල්ලුම් දාරගෙන
තන තනිම
යමු දෙමග
අතීතයේ නටඹුන් බලාගෙන
Thursday, July 5, 2012
කවියක් නොවේ බං මේ
බැටන් පහර එක පිට එක වැද
ඇසල සඳ මොර දෙයි
ලේ පැල්ලම් විසිරි ඇත
ඒ විසල් අහස මත
ලේ පිළී ඟඳ පමණි
හමන්නේ දසත
ගව්ගනන් දුරවුනත් සඳට
පෙම් කවි ලියන්නෙත් ඒසඳට
සඳකට විරිතට අකුරු ගලපන උන්ට
දෙමළනම් සඳ වුනත් දුර වැඩී ඒ මිනිසුන්ට
කවියක් නොවේ බං මේ
හූල්ලන ඉකියක්ය සිරවුණ
කවිකම වුනත් මොකට
අකුරුවලිනුත් ලේ ගලන කලෙක
හිස්ම හිස්
සුදු කඩදාසි මත
වැතිර සිටින
හිස්ම හිස්
හැගීමකි
ඉකිගසන
ලේ ගලන
අවසන් සුසුම යදින අදින
කවියක් නොවේ බං මේ
හූල්ලන ඉකියක්ය සිරවුණ
Photo Credit - JDS
Subscribe to:
Posts (Atom)




