Thursday, October 4, 2012

පැරණි ​පෙම් හසුනක් සමග තනිවීම හෙවත් සුසානයේ සන්ධ්‍යාවක්












මේ තරම් දිගු සැදෑවක්
අපට හමු වී
නැති බව
සත්තයි

අකාලික ප්‍රේමයට
කාලයකට පෙර දැමූ
පිච්ච මල් සුවද පුයරේ
සුවද හැර ගිහින් තිබුණා

වස්සානයේ සිහින
වැළලී ගිය තැන්වල
සොහොන් කොත්
අකුරු අතරින්
උස්ව පෙනුනා

ඔබ ආසම කරන
ගාර්ඩනියා මලක
වියලී අවපැහැව  ගිය
 පෙත්තක්
ඒ අසල රැඳී තිබුණා

, ආදරය
මේ වගේ
මෙන්න මේ
හැන්දෑව වගේ...
කොමාවක් අසල
තිත් පේළියක් දමා
ඔබ ලියා තිබුණා

ඒත්
මේ තරම්
දිග නොවූ
ඒ සන්ධ්‍යාව

ප.ලි

 ඔබ මෙසේ ලියා තිබුණා
 "හැමදාම ආදරෙයි "

සුසානයේ සන්ධ්‍යාවක්
මේ තරම් දිගුද ?