Saturday, September 22, 2012

සඟයිනි, ඔබට ඇසේ ද ?













උතුරේ ද
දකුණේද තලා
දමන විට
අපේ පන්තියේ පිපිමල්

නටුවටවත් නොනියා
අකාලිකව සමුගත්ත
ඒ සුවහසක් මල්වලට
එල්ලකරන විට
මල්ටිබරල්
ආටි උණ්ඩ
කවියනි ඔබ කොහිද
ඔබේ අවි කොහිද?

අදුරු යුගයේ
කළු කුහරයේ
සැඟව යන විට
චන්දරේ
මරණයේ සහතිකය
උපන් භූමියෙන් ලියාන
භාෂණ
උදය
වෙඩ්ඩා
අජිත් සී ඇතුළු
තවත් අපේ පන්තියේ
බෙහෝ උන්ට උන්ට
පිටුවහල් වන්න වූ විට
ඔබේ අවි
කොස් කොටන්නද?

මුල්ලි​​​වෛයිකාල් රතු වැලි පොළව අතරේ
මස් අස්සේ මස් ලෙස සැගවු
අපේ පන්තියේ උන්
ඇන්ට​නිද
රොෂේන්ද
නිමලරුබන්ද
ඩෙල්රුක්ෂාන්ද
තවත් දස දහස් ගණනක
අපේ සටන් සගයින්ද
කීතු කීතු කරන විට
කවියන ඔබ කොහිද?
පන්තියේ උන් වෙනුවෙන් නැති
අවි කුමට ?

ඉතිරිවුනු අපේ උන්ට
ගොම ද
කළු තෙල් ද ගසන විට
තවත් උන්ට
බැටන්
විලංගු
කඳුළු උණ්ඩ ද
එවනවිට
තවත් කවි කුමට
වෙව්ලන අත්වලට
පෑනටත් වඩා බර අවියක් අවැසි විටෙක

කවියනි ඔබ කොහෙද
ඔබේ අවි කොහෙදෙ?

අවියත් අරගෙන වමතට
වම් අතට
එන්න කාලය එළඹ ඇත වීදියට